ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවිය පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බවත් මේ වැටලීම් මගින් නීති උල්ලංඝනය කිරීම් රැසක් අනාවරණය වූ බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පළ කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් (Lubricants) සහ ග්‍රීස් (Grease) ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිමය අවශ්‍යතා ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 27 සිට 30 දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ වැටලීම් සහ වෙළෙඳපොළ පරීක්ෂණ සිදුකර ඇත.
එහිදී, ලිහිසි තෙල් සහ ග්‍රීස් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති විධාන අංක 88 උල්ලංඝනය කර ඇති බවට සැක කෙරෙන සිද්ධි 98ක් වාර්තා වී තිබේ. එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, විවිධ ලිහිසි තෙල් වර්ග සහ ග්‍රීස් අලෙවි කළ වෙළෙඳ ආයතන මෙම පරීක්ෂණවලට ලක්ව ඇති අතර, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ රැසක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ගෙන ඇත.
මෙම විශේෂ වැටලීම් සිදුකරන්නේ ඇයි?
වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල්වල නීත්‍යනුකූලභාවය සහ සැපයුම් මූලාශ්‍ර හඳුනාගැනීම ඉතා වැදගත්ය. නිසි අවසරයකින් තොරව ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන ලිහිසි තෙල් වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමත්, පාරිභෝගිකයන්ට විශ්වාසනීය සැපයුම් මාර්ග ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) වගන්තිය යටතේ නිකුත් කළ 2023.04.12 දිනැති අංක 2327/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 88 අනුව, ලිහිසි තෙල් සහ ග්‍රීස් ආනයනය හෝ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ අදාළ වලංගු ගිවිසුමක් පැවතිය යුතුය.
එසේම අලෙවිය සඳහා ගබඩා කර ඇති හෝ අලෙවි කරන ලිහිසි තෙල් සහ ග්‍රීස් ඇසුරුම්වල අදාළ රජයේ ගිවිසුම් අංකය මුද්‍රණය කර හෝ ස්ථිර ලේබලයක සඳහන් කර තිබීම අනිවාර්ය වේ.
මෙම ගැසට් විධානයේ විශේෂ වැදගත්කම වන්නේ ලිහිසි තෙල් හා ග්‍රීස් ආනයනය සහ නිෂ්පාදනය සඳහා පවතින නීතිමය අවසරය හඳුනාගැනීමටත්, සැපයුම්කරුවන් පිළිබඳ විමර්ශන සිදුකිරීමටත් අවශ්‍ය පදනමක් සලසා දීමයි. කෙසේ වෙතත්, ගිවිසුම් අංකයක් සඳහන්ව තිබීම පමණක් භාණ්ඩයේ ගුණාත්මකභාවය සහතික කිරීමක් නොවේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම වැටලීම්වලදී හඳුනාගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින අතර, අවශ්‍ය සාක්ෂි තහවුරු කිරීමෙන් අනතුරුව අදාළ වෙළෙඳුන් සහ වගකිවයුතු අනෙකුත් පාර්ශ්වයන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනු ඇත.
ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන වෙළෙඳුන් තමන් අලෙවි කරන භාණ්ඩවල අදාළ ගිවිසුම් අංකය සඳහන්ව තිබේදැයි පරීක්ෂා කළ යුතු අතර, පාරිභෝගිකයන් ද එවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී ලේබල් තොරතුරු පරීක්ෂා කර මිලදී ගැනීමේ බිල්පතක් ලබාගැනීම වැදගත්ය.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීත්‍යනුකූල වෙළෙඳපොළක් පවත්වාගෙන යාම සඳහා මෙවැනි විශේෂ වෙළෙඳපොළ පරීක්ෂණ අඛණ්ඩව සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ඇත.













