ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නඩු පවරයි – නඩුව නොවැම්බර් 11 දා කැඳවයි

පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව හා බාධාවකින් තොරව LP ගෑස් සැපයීමේ වගකීම පැහැර හැරීම සහ පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත් කිරීම හේතුවෙන් ලාෆ්ස් (Laugfs Gas) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය දා (28) නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුව අදාළව ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කළ අධිකරණය නඩුව නොවැම්බර් 11 වන දින කැඳවීමට නියම කෙරිණ.

මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ බලතලවලට අනුකූලව බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

පසුගිය දෙසැම්බර් සහ අප්‍රේල් මාසවලදී මෙන්ම, අවස්ථා ගණනාවකදීම ලාෆ්ස් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවීම නිසා දිවයින පුරා ලාෆ්ස් ගෑස් භාවිතා කරන පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට ලක් වූ බව ද අමාත්‍යවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ අමාත්‍යවරයා විසින් තබන ලද සම්පූර්ණ සටහන පහත දැක්වේ.

  • ලාෆ්ස් සමාගම මුහුණ දී ඇති සැබෑ තත්ත්වය

ලාෆ්ස් සමාගමේ වර්තමාන අර්බුදය සහ ගෑස් සැපයුම අඩාල වීමට  තාක්ෂණික හා මූල්‍යමය හේතු කිහිපයක් අනාවරණය වී තිබේ.

 ලාෆ්ස් සමාගමට ගෑස් සැපයීම සඳහා සැපයුම්කරුවෙකු  නොමැති වීම මෙම තත්ත්වය බලපා ඇති ප්‍රධාන හේතුවකි. මෙරට ප්‍රමිතිවලට අනුව ගෑස් සංයුතිය බියුටේන් (Butane) 70% ක් සහ ප්‍රොපේන් (Propane) 30% ක් ලෙස පැවතිය යුතු වුවත්, ලෝක වෙළෙඳපොළේ මෙම අනුපාතයට (30:70) තොග වශයෙන් ගෑස් මිලදී ගැනීමට නොමැති වීම නිසා ලාෆ්ස් සමාගමට සිදුව ඇත්තේ ලිට්රෝ (Litro) සමාගම වෙත ගෑස් සපයන සැපයුම්කරුගෙන්ම කුඩා ප්‍රමාණවලින් ගෑස් ලබා ගැනීමටයි. එහෙත් එම සැපයුම්කරු ලාෆ් සමාගමට ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කර තිබේ.

හම්බන්තොට පිහිටි ලාෆ්ස් ටර්මිනල් (BOI) පරිශ්‍රයේදී බියුටේන් සහ ප්‍රොපේන් මිශ්‍ර කර ගෑස් සැකසීමේ පහසුකම තිබුණද, ගිවිසුම්ගතව ඇති කොන්දේසි අනුව නීත්‍යානුකූලව එම ගෑස්වලින් ඔවුන්ට දේශීය වෙළෙඳපොළට නිකුත් කළ හැක්කේ 20% ක ප්‍රමාණයක් පමණි. මෙරට 80%ක ගෑස් වෙළෙඳපොල සැපයුම රජයේ ලිට්රෝ සමාගම විසින් සිදු කරන අතර ලාෆ්ස් සමාගම සිය පාරිභෝගික සේවා වගකීම ඉටු නොකිරීම නිසා මේ වන විට ලිට්රෝ ගෑස් ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.

දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය විසින් ලබා දී තිබෙන 20%ක වෙළෙඳපොල අවස්ථාව ඉහළ දැමීම  සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගම මීට පෙර සිය සැපයුම අඩාල වූ සෑම අවස්ථාවකදීම ඉල්ලීම් කළ අතර පසුගිය වසරේ  දෙසැම්බර් මාසයේදී ඒ සදහා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඔවුන්ට අවස්ථාව ලබාදුන්නේ ඒ වන විට පැවති දිට්වා ආපදා තත්ත්වයද සැලකිල්ලට ගනිමිනි. පසුගිය අප්‍රේල් මාසයේද යළිත් ලාෆ්ස් සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වූ අතර එම අවස්ථාවේදී ද ඔවුන්ගේ ඉල්ලීම වූයේ තම වෙළෙඳපොළ 20%ක සීමාව වැඩිකර දෙන ලෙසයි.

එහෙත් එම අවස්ථාවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එය ප්‍රතික්ෂේප කරමින් රජයේ ලිට්රෝ සමාගම හරහා ගෑස් සැපයුම වැඩිකිරීමටත්, නිල් පැහැ හිස් ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් කිරීමටත් කටයුතු කෙරිණ.

මේ වනවිට යළිත් ලාෆ්ස් සමාගම සිය පාරිභෝගිකයා වෙත ගෑස් සැපයීම පැහැර හැර තිබේ. පාරිභෝගික අධිකාරිය හරහා සැපයුම යථාවත් කරන ලෙස ලාෆ්ස් සමාගමට දැනුම්දීම් ගණනාවක් කළ අතර හිස් සිලන්ඩරයක් නිවසේ තබාගැනීම වෙනුවට පාරිභෝගිකයාට සැපයුම ඇති ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින් ලාෆ්ස් ගෑස් වෙනුවට ලිට්රෝ ගෑස් ලබාගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට, ලාෆ්ස් සිලින්ඩරය වෙනුවෙන් ලබාගෙන තිබෙන  තැන්පතු මුදල ආපසු ලබාදෙන ලෙස දැනුම් දීමක් ද සිදු කර තිබේ.

නමුත්, සිලින්ඩරයේ කාලය සහ ක්ෂය වීමේ ප්‍රමාණය මත පදනම්ව රුපියල්1,000ක පමණ මුදලක් පමණක් ගෙවිය හැකි බව සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පවසා තිබේ. කෙසේ වෙතත්, පාරිභෝගිකයෙකුට අලුතින් ලිට්රෝ සිලින්ඩරයක් මිලදී ගැනීමට රුපියල් 10,000 කට අධික මුදලක් වැය වන බැවින් ලාෆ්ස් ගෑස් භාවිත කළ පාරිභෝගිකයන්ට එමඟින් සාධාරණයක් ඉටු නොවේ.

එවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදනවලට අනුව, ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලාෆ්ස් (Laugfs) ගෑස් සමාගමට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන ලදී.

එම නඩුව අදාළව ලාෆ්ස් ගෑස් සමාගමට සිතාසි නිකුත් කළ අධිකරණය නඩුව නොවැම්බර් 11 වන දින කැඳවීමට නියම කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website