ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන වෙළෙඳුන්ට පාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

ඔබ අලෙවි කරන ලිහිසි තෙල් ඇසුරුමේ රජයේ ගිවිසුම් අංකය සඳහන්ව තිබෙනවාද?

වාහන සඳහා භාවිත කරන එන්ජින් ඔයිල්, ගියර් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරන සියලුම වෙළෙඳුන් දැන සිටිය යුතු නීතිමය අවශ්‍යතාවක් පවතී.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) වගන්තිය යටතේ නිකුත් කර ඇති 2023.04.12 දිනැති අංක 2327/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධාන අංක 88 අනුව,

  • ශ්‍රී ලංකා රජය සමඟ අදාළ නීතිමය විධිවිධාන අනුව ඇතිකරගත් වලංගු ගිවිසුමක බලය යටතේ හැර ලිහිසි තෙල් හෝ ග්‍රීස් ආනයනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම තහනම් වේ.
  • අලෙවිය සඳහා ගබඩා කරන, තොග වශයෙන් තබාගන්නා, අලෙවි කරන, ඇසුරුම් කරන, නැවත ඇසුරුම් කරන හෝ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කරන සෑම ලිහිසි තෙල් හා ග්‍රීස් ඒකකයකම අදාළ රජයේ ගිවිසුම් අංකය සඳහන්ව තිබිය යුතුය.
  • එම අංකය ඇසුරුමේ මුද්‍රණය කර හෝ ස්ථිරව සවි කළ ලේබලයක සඳහන්ව තිබිය යුතුය.

වෙළෙඳුන් ලෙස ඔබ කළ යුත්තේ කුමක්ද?

  • භාණ්ඩ මිලදී ගැනීමට පෙර ගිවිසුම් අංකය පරීක්ෂා කරන්න.
  • සැපයුම්කරු, ආනයනකරු හෝ නිෂ්පාදකයා පිළිබඳ තොරතුරු ලබාගන්න.
  • මිලදී ගැනීමේ බිල්පත් හා ඉන්වොයිසි සුරක්ෂිතව තබාගන්න.
  • දැනට අලෙවියට තබා ඇති භාණ්ඩවල ලේබල් ද පරීක්ෂා කරන්න.

ඔබ ආනයනකරුවෙකු හෝ නිෂ්පාදකයෙකු නොවුණත්, සිල්ලර වෙළෙන්දෙකු ලෙස මෙම ලේබල් අවශ්‍යතාව ඔබටත් අදාළ වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලිහිසි තෙල් හා ග්‍රීස් සම්බන්ධයෙන් වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් සිදුකරනු ලබන අතර, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website