විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම් කරන බවත් විශේෂ වැඩසටහන යටතේ වැටලීම් 204ක් සහ 2026 වසර තුළ සමස්ත වැටලීම් 1,000කට අධික සංඛ්‍යාවක් කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගිකයන්ට ආරක්ෂිත, ප්‍රමිතියෙන් යුත් සහ නීතියට අනුකූල විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොළක් තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා සැපයුම් දාම විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙහි ප්‍රධාන විශේෂ වැටලීම් 2026 අගෝස්තු 25 දින ආරම්භ කර අගෝස්තු 29 දක්වා සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වූ තත්ත්වයන් සහ වෙළෙඳපොළ තොරතුරු සැලකිල්ලට ගනිමින් සැප්තැම්බර් 8 සහ 9 දිනවලදීද මෙම විශේෂ වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන ලදී.
මෙම විශේෂ වැඩසටහන යටතේ පමණක් වෙළෙඳ ආයතන සම්බන්ධයෙන් වැටලීම් 204ක් සිදුකර ඇති අතර, එම වැටලීම්වලදී භාණ්ඩ 1,150කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස ලබාගෙන හෝ නිලධාරීන් භාරයට ගෙන අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇත.
මීට අමතරව, 2026 වසර තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත. එමගින් වෙළෙඳපොළේ නීතිමය අනුකූලතාව, භාණ්ඩවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර හඳුනාගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානයක් යොමු කර ඇත.
විශේෂ වැටලීම්වලදී නිසි බිල්පත්, රිසිට්පත් හා ඉන්වොයිසි පවත්වාගෙන නොයෑම, භාණ්ඩයේ සැපයුම් මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වීම, නියමිත ලේබල් හා භාණ්ඩ තොරතුරු නොමැති වීම, අදාළ වගකීම් අවශ්‍යතා සපුරා නොමැති වීම, අනිවාර්ය ප්‍රමිතිවලට අනුකූල නොවන ප්ලග්, බහු සොකට්, දිගු විදුලි රැහැන් සහ අනෙකුත් විදුලි භාණ්ඩ අලෙවි කිරීම මෙන්ම වෙනත් අදාළ නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
විශේෂයෙන්ම, අදාළ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 06ක වගකීමක් ලබාදීම සහ ඒ සඳහා නිසි වගකීම් සහතිකයක් පාරිභෝගිකයාට ලබාදීම පිළිබඳවද දැඩි අවධානය යොමු කර ඇත. පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගන්නා විට වාචිකව “වගකීමක් ඇත” යැයි පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, අදාළ වගකීම් කාලසීමාව, කොන්දේසි සහ වගකිවයුතු පාර්ශ්වය හඳුනාගත හැකි පරිදි ලිඛිත වගකීම් සහතිකයක් ලබාගැනීම වැදගත් වේ.
වැටලීම්වලදී දිගු විදුලි රැහැන්, බහු සොකට්, ප්ලග් මුදුන්, ස්විච් සොකට්, විදුලි රැහැන්, එල්.ඊ.ඩී. බල්බ, ආරෝපක, විදුලි අනුකූලක, අත් විදුලි පන්දම්, විදුලි තරාදි, විදුලි කේතල්, විදුලි ඉස්ත්‍රික්ක, විදුලි මෙවලම් සහ අනෙකුත් විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් නීති උල්ලංඝනයන් හඳුනාගෙන ඇත.
මෙම විශේෂ වැඩසටහනේ වැදගත් අරමුණක් වන්නේ වෙළෙන්දාගෙන් පමණක් විමර්ශනය අවසන් නොකර, අංක 83 දරන විධානය ඇතුළු අදාළ නීති භාවිතා කරමින් භාණ්ඩයේ සැපයුම් මූලාශ්‍රය හඳුනාගැනීමයි. ඒ අනුව අවශ්‍ය අවස්ථාවලදී සිල්ලර වෙළෙන්දා → සැපයුම්කරු → බෙදාහරින්නා → ආනයනකරු / නිෂ්පාදකයා දක්වා සැපයුම් දාමය පසුපසට විමර්ශනය කිරීමට නිලධාරීන් කටයුතු කරනු ඇත.
විමර්ශන අවසන් කිරීමෙන් පසු ලැබෙන සාක්ෂි අනුව, අදාළ වරදට වගකිවයුතු වෙළෙන්දන්ට පමණක් නොව, වරදට සම්බන්ධ බව තහවුරු වන සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ආනයනකරුවන් හෝ නිෂ්පාදකයන්ටද අදාළ නීති යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනු ඇත.
වෙළෙඳ ප්‍රජාව විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි කිරීමේදී භාණ්ඩ ලබාගත් නිසි බිල්පත් හා ඉන්වොයිසි තබාගැනීම, සැපයුම්කරු සහ ආනයනකරු හඳුනාගත හැකි ලේඛන පවත්වාගෙන යාම, අදාළ ලේබල් සහ ප්‍රමිති අවශ්‍යතා සපුරාලන භාණ්ඩ පමණක් අලෙවි කිරීම, සහ අදාළ භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 06ක වගකීමක් සහ නිසි වගකීම් සහතිකයක් ලබාදීම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුය.
පාරිභෝගිකයන් විදුලි හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් මිලදී ගැනීමේදී බිල්පතක් ලබාගැනීම, නිෂ්පාදකයා හෝ ආනයනකරු පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම, අදාළ ප්‍රමිති සහ ලේබල් පිළිබඳ අවධානය යොමු කිරීම සහ අවම මාස 06ක වගකීමක් තිබේද, නිසි වගකීම් සහතිකයක් ලබාදෙන්නේද යන්න අනිවාර්යයෙන් පරීක්ෂා කිරීම වැදගත් වේ. වගකීම් සහතිකය මිලදී ගැනීමෙන් පසු සුරක්ෂිතව තබාගැනීමද අවශ්‍ය වේ.
අනාරක්ෂිත, ප්‍රමිතියෙන් තොර හා නීතිමය අවශ්‍යතා සපුරා නොමැති භාණ්ඩ වෙළෙඳපොළට පැමිණෙන මූලාශ්‍ර හඳුනාගෙන ඒවා පාලනය කිරීම, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතියට අනුකූලව ව්‍යාපාර කරන වෙළෙන්දන්ට සාධාරණ වෙළෙඳපොළක් ඇති කිරීම සඳහා මෙවැනි ඉලක්කගත විශේෂ වැටලීම් සහ සැපයුම් දාම විමර්ශන දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ඇත.
වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.














