මානව හිමිකම් ගැටලුවලට විසඳුම් සෙවීමට බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

ආචාර්ය ජෙහාන් පෙරේරා

ජිනීවා නුවරදී 2026 සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එහි ප්‍රතිඵලය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය නිවැරදි මාවතේ ගමන් කරන්නේද යන්න පිළිබඳව යුරෝපා සංගමය ඇතුළු අන්තර්ජාතික පාර්ශවකරුවන් වෙත පණිවිඩයක් නිකුත් කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ගේ මෙහෙයවීමෙන් සකස් කර, නියෝජ්‍ය මානව හිමිකම් මහකොමසාරිස් නාඩා අල්-නාෂිෆ් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම මගින් පසුගිය වසර තුළ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමස්ත ප්‍රවේශයක් ලබාගෙන තිබේ. මූල්‍ය වංචා සහ අනෙකුත් ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම වෙනුවෙන් ජාතික ජන බලවේග පාලනය යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය එහිදී ඇගැයීමට ලක්විය. ඒ අතරම, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය, සන්නද්ධ අභ්‍යන්තර ගැටුම් පැවැති සමයේ සහ වෙනත් දේශපාලන ප්‍රචණ්ඩත්වයන් පැවැති කාලවලදී සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ වගවීම සඳහා ලබා ඇති ප්‍රගතියට සමාන කළ නොහැකි බව ද මහකොමසාරිස්වරයාගේ වාර්තාව කිරීම මගින් පැහැදිලි කර ඇත.

මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට රජයේ ප්‍රතිචාරය දැක්වීම ජිනීවා හි සිටින ශ්‍රී ලංකා නියෝජිතයා ලවා සිදුකළ හැකි බවටත්, ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ සහභාගීත්වය අවශ්‍ය නොවන බවටත් රජයට ප්‍රමාණවත් තරම් විශ්වාසයක් තිබෙන්නට ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ යම් රටකට පමණක් වෙන් වූ විශේෂිත බලප්‍රදේශ (country-specific mandates) සම්බන්ධයෙන් මූලික සමාලෝචනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නියෝජිත සුමිත් දසනායක ඉල්ලා සිටියේය. 2012 වසරේ සිට එකින් එක පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා සම්මතයන් හරහා ශ්‍රී ලංකාව දිගින් දිගටම දැඩි පරීක්ෂාවට ලක්විය. තානාපති දසනායක තර්ක කළේ මෙවැනි නියෝග දින නියමයක් නොමැතිව ඉදිරියට පවත්වාගෙන නොයා යුතු බවත්, මැනිය හැකි අරමුණු සහ ස්පර්ශ කළ හැකි ප්‍රතිඵල මත පදනම්ව ඒවා නිතිපතා තක්සේරු කළ යුතු බවත්ය. රජය සිදුකරන ප්‍රතිසංස්කරණ වාර්තාව අන්තර්ජාතික වශයෙන් ඇගැයීමට ලක්වීමට පටන් ගෙන ඇති බවට වූ විශ්වාසය මෙයින් පිළිඹිඹු වේ. මානව හිමිකම් මණ්ඩලයේ වාර්තා සහ ප්‍රකාශ මගින් දූෂණය සහ ආර්ථික අපරාධ මැඩලීමට රජය ගන්නා උත්සාහයේ ප්‍රගතිය පිළිගෙන තිබේ.

රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලට රටේ ඉහළම දේශපාලන තනතුරු දැරූ පුද්ගලයන් සම්බන්ධ චෝදනා පිළිබඳ විමර්ශන ද ඇතුළත් වී ඇත. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා සම්බන්ධ ආන්දෝලනාත්මක ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණය මේ සඳහා උදාහරණ වේ. එයාර්බස් මිලදී ගැනීමේ වංචාවට අදාළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මගින් දේශපාලන බලපෑම් සහිත පුද්ගලයන් සම්බන්ධ නඩුවලදී පවා කටයුතු කිරීමට රජය සූදානම් බව පෙන්නුම් කර ඇත.

පුළුල් පරාසය

දැනට සිදුවෙමින් පවතින විමර්ශන මගින් අතීත සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ සාමාජිකයන් විශාල පිරිසක් ආවරණය වන බව පෙනේ. දූෂණය සම්බන්ධයෙන් වගවීම පහළ මට්ටමේ නිලධාරීන්ට හෝ දේශපාලන බලපෑමක් නැති පුද්ගලයන්ට පමණක් සීමානොවන බව මෙයින් අඟවයි. මහජනතාව දිගු කලක් තිස්සේ ඉල්ලා සිටියේත්, පූර්වගාමී ආණ්ඩු විසින් ඉටුකිරීමට අසාර්ථක වූයේත් මෙවැනිම ආකාරයේ වගවීමකි. රජය අතීතයේ හමුදාමය ඉහළ නායකත්වයන් වෙතද තම විමර්ශන යොමුකරමින් සිටී. 2008 සහ 2009 අතර කාලය තුළ කොළඹදී පැහැරගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ, බහුතරය දෙමළ ජාතිකයන් වූ තරුණයන් 11 දෙනාගේ සිද්ධියට ඇතැම් පවුල්වලින් කප්පම් ඉල්ලූ බවට චෝදනා ඇතුළත් විය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දක්වාම යොමු වී ඇත. මෙවැනි නඩු ඉදිරියට ගෙනයෑමට ඇති කැමැත්ත වැදගත් වන්නේ, යුද්ධ සමයේ බලය හෙබවූවන් නීතියට ඉහළින් සිටින බවට වූ මතයට එය අභියෝග කරන බැවිනි. මෙවැනි නඩු මගින් ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීමට රජයට ඇති කැපවීම, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඇති පුළුල් කැපවීමක කොටසක්ද යන්න පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණයක් සපයනු ඇත.

දූෂණය සම්බන්ධයෙන් සාර්ථකව නඩු පැවරීම, නීතිවිරෝධී ලෙස ඝාතනය වූ, අතුරුදහන් වූ, වධබන්ධනවලට ලක්වූ හෝ වෙනත් ආකාරයකින් පීඩාවට පත්වූවන් උදෙසා ඉටුවිය යුතු සාධාරණත්වයට විකල්පයක් විය නොහැක. යුද සමයේදී සියලු පාර්ශවයන් විසින් සිදුකරන ලද අන්තර්ජාතික නීතිය යටතේ ගැනෙන අපරාධ, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු පිළිගැනීමක් හෝ වගවීමක් සිදුවී නොමැති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වේ. අනිවාර්යයෙන් අතුරුදහන් කරවීම්, අධිකරණයෙන් බාහිරව සිදුකළ ඝාතන, වධබන්ධන පැමිණවීම් සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ නඩු රාශියකට විසඳුම් සෙවීම සඳහා විශ්වාසදායක සහ ඵලදායී ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට රජයට තවමත් නොහැකි වී ඇත. මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් තමන්ට උරුම වූ අන්තර්ජාතික කැපවීම් රජය විසින් දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුව ඇත. එය ප්‍රධාන වශයෙන් මූල්‍ය සහ දූෂණ සම්බන්ධ වගවීම කෙරෙහි පමණක් අවධානය යොමුකිරීමෙන් ඔබ්බට ගොස් බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කිරීම අවශ්‍ය වේ.

ක්‍රියාමාර්ග අවශ්‍ය වේ

අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයකු ලෙස, තමන් විසින් ලබා දී ඇති ප්‍රතිඥාවන්ට අනුකූලව කටයුතු කිරීමේ වගකීමක් ශ්‍රී ලංකාවට ඇත. දේශපාලනික වශයෙන් අපහසු කරුණු කල් දමමින්, අන්තර්ජාතික බැඳීම් තෝරා බේරාගෙන පමණක් ඉටුකිරීමට ශ්‍රී ලංකාවට නොහැකිය. එසේම, කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාවට විශාල අන්තර්ජාතික බලවතුන්ගේ ග්‍රහණයෙන් මිදී ආරක්ෂා වීමට ඇති එකම මෙවලම වන අන්තර්ජාතික නීතිය සුරක්ෂිතව පැවතීම පිළිබඳව ස්වයං නිරීක්ෂණාත්මක උනන්දුවක් තිබිය යුතුය. බලවත් රාජ්‍යයන් විසින් අන්තර්ජාතික නීතිය පළුදු කරනු ලැබීම හේතුවෙන්, අන්තර්ජාතික පද්ධතිය පදනම් වී ඇති මූලධර්ම කුඩා රාජ්‍යයන් විසින් ආරක්ෂා කිරීම තවත් වැදගත් වේ. පිටතින් තර්ජන එල්ල වන විට අන්තර්ජාතික නීතියේ පිහිට පතන ශ්‍රී ලංකාවට, තමන්ගේම රට ඇතුළත ඇති වගකීම් නොසලකා හරිමින් විශ්වාසදායක ලෙස කටයුතු කළ නොහැක. ශ්‍රී ලංකාව සියලු දෙනාටම සාධාරණත්වය සහ සමානත්වය වෙනුවෙන් කැපවී සිටින බවට සිය රට වැසියන්ගේ විශ්වාසය ද දිනාගත යුතුව ඇත. ජනමත සමීක්ෂණ සහ ප්‍රජා මට්ටමේ පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ, ජාතිවාදී හෝ ආගමික අන්තවාදීන්ගෙන් වත්මන් පාලනය යටතේ තමන් භුක්ති විඳින වැඩි ආරක්ෂාව පිළිබඳව ජාතික සහ ආගමික සුළුතරයන් ඇගයීමට ලක්කරන බවයි.

එහෙත්, ආරක්ෂාව පිළිබඳ හැඟීම යනු අයිතිවාසිකම් ඉටුවීම නොවේ. දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත්කල, ආණ්ඩුව ලබා දුන් නිශ්චිත පොරොන්දු කිහිපයක් තවමත් ඉටුකිරීමට සමත්ව නොමැත. අතුරුදහන්වූවන්ගේ දීර්ඝකාලීන ගැටලුව, දෙමළ සන්නද්ධ සංවිධානවල සාමාජිකයන්ව සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ යුද සමයේදී හමුදාමය කටයුතු සඳහා පවරාගත් ඉඩම් ආපසු ලබාදීම මීට ඇතුළත් වේ. ඔවුන්ගේ ඉඩම්වල තැන්පත් කර අති බුදු පිළිම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන ඔවුන්ගේ පාලනයෙන් ඉවත් කරගැනීම වැනි ගැටලු ඔවුන්ට දිගින් දිගටම බලපාන අතර, විශේෂයෙන් එම ආරවුල් විසඳීමේ සලකුණක් නොමැති වීම ඊට හේතුවයි. නැගෙනහිර මයිලත්තමඩු ප්‍රදේශයේ පශුසම්පත් ඉඩම් පිළිබඳ ආරවුල ඔවුන්ට විශේෂයෙන් කනගාටුවට කරුණක් වන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාම ලබාදුන් නියෝග පවා භූමිය තුළ නොසලකා හරිනු ලබන බව ඔවුන් දකින බැවිනි. මයිලත්තමඩු තණබිම් ආරවුල යනු, රජයේ සංවර්ධන යෝජනා ක්‍රම යටතේ නැවත පදිංචි කරන ලද සිංහල වගාකරුවන් විසින් තමන්ගේ පාරම්පරික තණබිම් ආක්‍රමණය කිරීමට එරෙහිව පාරම්පරික දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක් තිස්සේ විරෝධතාවල නිරත වන ස්ථානයයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් වීම විශේෂයෙන්ම ගැටලුකාරී වේ. දෙමළ ජනතාවට සහ අනෙකුත් ජාතික සුළුතරයන්ට තමන් බහුතරය වන ප්‍රදේශවල දේශපාලන බලය හෙබවීමට සහ ස්වයං තීරණ ගැනීමේ අයිතිය යම් ප්‍රමාණයකට භුක්ති විඳීමට ඇති එකම ක්‍රමය පළාත් සභා ක්‍රමයයි. එමනිසා පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීම සාමාන්‍ය මැතිවරණ ප්‍රමාදයකට එහා ගිය බරපතල ප්‍රතිවිපාක ඇති කරයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය සහ බලය බෙදාගැනීම සඳහා වූ වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මාවතක් ප්‍රජාවන්ට අහිමි කරයි. ජාතික යහපත උදෙසා රජය කරමින් සිටින දේ ජාතික සහ ආගමික සුළුතරයන් අගය කරන අතරම, තමුන්ගේ විශේෂිත ගැටලු නොසලකා හරින බවක් ඔවුන්ට හැඟීමට ඉඩ නොතැබිය යුතුය. ශ්‍රී ලංකාවේ අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල සමස්ත උරුමය එක රැයකින් විසඳීමට රජයට නොහැක. එහෙත් එක් අංශයකින් පමණක් නොව අංශ කිහිපයකින්ම ඉදිරියට යෑමට තමන් සූදානම් බව පෙන්නුම් කිරීමට රජයට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website