පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා නීතිමය සංශෝධන අවශ්‍ය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජූලි 09) මෙම පැවති සංසද රැස්වීමේදී,පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම පිළිබඳවත්, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ නාමයෝජනා ලැයිස්තුවල මෙන්ම තේරී පත්වන මන්ත්‍රීවරුන් අතර ද අවම වශයෙන් 33%ක කාන්තා නියෝජනයක් තහවුරු වන පරිදි නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව සංසදයේ අවධානය යොමු විය. මෙම යෝජනා ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය කෙරිණි.
එමෙන්ම, කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා නාමයෝජනා ලැයිස්තු මට්ටමින් හෝ අනිවාර්ය ආසන වෙන් කිරීම මඟින් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමවේදයක් යටතේ සුදුසු නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමේ විකල්ප පිළිබඳව ද සංසදයේ සාමාජිකාවන්ගේ අවධානය යොමු විය.
මීට අමතරව, දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදී පවතින සමාජීය ආකල්ප, මැතිවරණ වියදම් සහ දේශපාලන පක්ෂවල සහයෝගය වැනි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර, කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ සාගරිකා අතාවුද, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, දීප්ති වාසලගේ, අම්බිකා සාමිවේල්, නීතිඥ ගීතා හේරත් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු සහභාගි වූහ.













