රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්ය වාර්තාව කොළඹ ජාතික රෝහල විසින් අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
මෙම නඩුව අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහල විසින් අදාළ වෛද්ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
සැකකාරියගේ සෞඛ්ය තත්ත්වය විස්තර කර ඇති වාර්තාවේ ඇයට බයිපාස් සැත්කමක් අවශ්ය බව සඳහන් කර ඇති බව මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී ප්රකාශ කළේය.
එම අවස්ථාවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා, වෛද්ය වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු කරුණු දැක්වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව, ඒ සඳහා නඩු කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව “සිරිලිය සවිය” සංවිධානයට රුපියල් මිලියන 10 ක මුදලක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.















