කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය, ව්‍යාපාර සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති පිළිබඳව CoPF අවධානය

කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වු කාරක සභාව හමුවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු, විදේශීය ආයෝජන නියාමනය සහ අදාළ නීතිමය හා පරිපාලනමය කරුණු පිළිබඳව අවධානය යොමු විය.

මෙහිදී මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) ලෙස මෑතකදී ගැසට් කර ඇති ව්‍යාපාර සහ ඉදිරි ආයෝජන සැලසුම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු මෙන්ම වරාය නගරයේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

කොළඹ ප්‍රධාන වාණිජ කලාපයට ආසන්න ප්‍රදේශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දී ඇති බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ. තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 6ක් බදු දීම සඳහා අවශ්‍ය සැලසුම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද ඔවුහු සඳහන් කළහ.

තවද, රජයට අයත් ඉඩම් කොටස් 4ක්, (මුළු ඉඩම් වෙන් කිරීමෙන් 1/7 ක ප්‍රමාණයක්), වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව නිලධාරීහු පැවසූහ. මේ දක්වා බදු දී ඇත්තේ CHEC Port City Colombo (Pvt) Ltd සමාගමට අයත් ඉඩම් කොටස් පමණක් බව ද ඔවුහු වැඩිදුරටත් පැහැදිලි කළහ.

මෙම ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු දෙන අතර, එහි සාමාන්‍ය වටිනාකම වර්ග මීටරයකට ඇමරිකානු ඩොලර් 3,000ක් වන බව නිලධාරීහු සඳහන් කළහ. එසේම, (මුළු කල්බදු මුදලින් 1% කට සමාන) රුපියල් මිලියන 398ක මුදලක් මේ වන විට කොමිෂන් සභාව වෙත ලැබී ඇති බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

වරාය නගරයේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රතිලාභී හිමිකාරීත්වය හඳුනා ගැනීම, විදේශීය ආයෝජනවල විනිවිදභාවය තහවුරු කිරීම සහ මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර ඇති නියාමන ක්‍රමවේද පිළිබඳව ද කාරක සභාව විමසා බැලීය.

එමෙන්ම, විදේශීය ශ්‍රමිකයන් සඳහා වීසා නිර්දේශ නිකුත් කිරීම සහ ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. කොමිෂන් සභාවේ නිර්දේශ මත විදේශිකයන් සඳහා වීසා 14,300ක් පමණ නිකුත් කර ඇති බවට ඉදිරිපත් වූ තොරතුරු සැලකිල්ලට ගනිමින් අධීක්ෂණය කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය.

වරාය නගරය තුළ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා අදාළ නියාමන කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.

මහල් නිවාස සංකීර්ණ සහ නේවාසික ව්‍යාපෘති සඳහා නිවාස මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් විසින් සිදුකරනු ලබන පූර්ව ගෙවීම් වල (Pre-Sale Deposits) ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. එහිදී, විදේශීය ආයෝජකයන්ගෙන් ලබා ගන්නා එම මුදල් අදාළ ව්‍යාපෘති සඳහාම යෙදවීම සහ ඒවායේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වන එස්ක්‍රෝ (Escrow) ගිණුම් ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු විය.

එමෙන්ම වරාය නගරයට ලැබී ඇති සැබෑ විදේශීය ආයෝජන ප්‍රමාණය, අනුමත ව්‍යාපාරවල වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඒවා මඟින් අපේක්ෂිත රැකියා අවස්ථා නිර්මාණය කර තිබේද යන්න පිළිබඳව ද තොරතුරුද කාරක සභාවේ සාකච්ඡා විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website