ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට විශේෂ සාකච්ඡාවක්

ඊසාන දිග මෝසම සක්‍රීය විය හැකි ආකාරය සහ එහි බලපෑම නිසා සිදුවිය හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා තාක්ෂණික ආයතන, සහන සේවා සපයන ආයතන, හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ආයතන සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම පිළිබඳව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.

මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් එය වෙනත් වර්ෂවලදී ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි අගයක් ගනු ඇති බවත් 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ වෙනත් වර්ෂවලට සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී. එසේම මෙම කාල සීමාව තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාප වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් පුරෝකථනය කරනු ලබන වර්ෂාපතනය ඉක්මවා වර්ෂාව ලැබිය හැකි බව මෙහි දී පෙන්වා දෙන ලදී.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වාර්ෂාපතනයෙහි මෙවැනි විචලතා ඇතිවන සිදුවිය හැකි බව පසුගිය එල්නිනෝ දත්ත පරිශිලනය කිරීමේ දී නිරීක්ෂණය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පෙන්වා දෙන ලදී. මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදාවලට මුහුණදිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල මට්ටම සළකා බැලීමේදී දැදුරුඔය සහ රාජාංගනය යන ජලාශවල පමණක් සැලකිය යුතු ජල ප්‍රමාණයක් පවතින බවත් අනෙක් ජලාශවල ඉහළ ජල ධාරිතාවක් රදවාගැනීමට හැකියාව පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එච්. සූරියබණ්ඩාර මහතා පෙන්වා සෙන ලදී. එසේම 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බැවින් ඉදිරි යල් කන්නය තුළ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ආරක්ෂා කරගත යුතු බවත් එබැවින් ඉදිරි වර්ෂා ජලය මනාව කළමනාකරණය කර ගැනීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී.

ඒසේම මහවැලි පද්ධතියේ ජල කළමනාකරණ සිදු කිරීම සම්බන්ධයෙන් සළකාබැලීමේ දී ඉදිරි අනාවැකි අනුව කටයුතු කරන බවත් ඒබැවින් ගංවතුර තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි බවත් ක්‍රමිකව ආයතන සම්බන්ධීකරණය අනුව වර්ෂා ජලය කළමනාකරණය කරගැනීම ඉතා වැදගත් බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂය ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පෙන්වා දෙන ලදී. ඉදිරි වර්ෂයේ ඇති විය හැකි නියං තත්ත්වය අනුව අපේක්ෂිත වර්ෂාපතනය කළමනාකරණය කළ හැකි බව පෙන්වා දෙන ලදී.
එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන විට හදුනාගෙන ඇති නායයාම් අධි අවදානම් කලාපවල පිළිබදව අවධානය යොමු කරන බව මෙහි දී පෙන්වා දෙන ලදී. නමුත් පසුගිය වර්ෂවල දත්ත සළකා බැලීමේ දී කණ්ඩි කඩාවැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන ලදී. එබැවින් මහජනතාව මේ පිබදව දැනුවත් කිරීම සහ වැඩි අවධානය යොමු කරවීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

පැවති වර්ෂාධික දේශගුණික තත්ත්ව හේතුවෙන් ඉදිරි ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් වැඩිවෙමින් පැවතියද එම තත්ත්වය පාලනය කිරීමට පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් හැකි වූ බවත් ඊසාන දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඇති විය හැකි අවදානම අවම කරගැනීම සදහා අවධානය යොමු විය යුතු බවත් ඊට අමතරව මී උණ ව්‍යාප්තවීම මෙම කාලසීමාව වැඩිවිය හැකි බවත් මෙම අවස්ථාවට සහභාගීවෙමින් වෛද්‍ය අසංග වෙදමුල්ල පෙන්වා දෙන ලදී. වැඩි වේලාවක් මඩ සහිත ජලයේ කටයුතු කරන ජනතාව එම කාර්යයන් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කාර්යාල මගින් අදාල ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත් කම පෙන්වා දෙන ලද අතර මේ පිළිබදව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි කාර්යාල දැනුවත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙන ලදී.

ත්‍රිවිධ හමුදාව පොලිසීය, වෙරළ ආරක්ෂක බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණය වෙමින් ඕනැම ආපදා තත්ත්වයක් කළමනාකරණය කිරීම සඳහා සුදානමින් සිටින බවත් මේ වන විටත් සෙවීම් සහ මුදවාගැනීම් උපකරණ ක්‍රියාකාරීත්වය පරීක්ෂාකර බලා ස්ථෘන ගත කිරීමට සුදානම් කර පවතින බව පෙන්වා දෙන ලදී.

ඊසාන දිග මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදාවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කිසියම් ආපදා තත්ත්වයක් නිසා ඇතිවිය හැකි ජීවිත හානි අවම කර ගැනීම සදහා කටයුතු කිරීමේ දී අවම කාලයකින් අවශ්‍ය පිවර ගැනීම තම අරමුණ බවත් සියලු අත්‍යවශ්‍ය සේවා බලපැමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පිවර ගැනීම පාර්ශව කරුවන් විසින් සහතික කළ යුතු බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් මෙහි දී අවධාරණය කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධවන රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්, ජාතීන්ගේ නියෝජිතායතන නියෝජිතයින්, රාජ්‍යය නොවන සංවිධාන, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website