වනජීවී ජීවිත සුරැකීමට තබ්බෝවේ විශේෂ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුම අඛණ්ඩව

වන අලි ඇතුළු වනජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන නීතිවිරෝධී උගුල් සහ ආයුධ ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පුත්තලම තබ්බෝව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ(14) විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ  සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ මෙම මෙහෙයුම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායකත්වය ලබා දෙන ලදී.

වන අලින් ඇතුළු සතුන් අමානුෂික ලෙස හිංසා කිරීමට හා ඝාතනයට යොදාගන්නා හක්කපටස්, මදු (කම්බි උගුල්), විදුලි රැහැන් සහ නීතිවිරෝධී ගිනිඅවි සොයා ඉවත් කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ විය. 

වන අලි ජීවිතවලට මරු කැඳවන මෙවැනි නීතිවිරෝධී උපකරණ සහ ආයුධ මැඩපැවැත්වීම සඳහා වන වැටලීම් දිවයින පුරා තවදුරටත් පුළුල් කරන ලෙස පරිසර අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව තබ්බෝව අභයභූමිය හා ඒ අවට වනගත කලාප ආවරණය වන පරිදි නිලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලැබීය. එක් කණ්ඩායමක් කුඩාවැව හා පන්සල් ගල ප්‍රදේශයටත්, තවත් කණ්ඩායමක් ගල්හත හා රබෑව ප්‍රදේශයටත්, අනෙක් කණ්ඩායම එරමුදු ගස්වැව හා කුඩා මැදවච්චිය ප්‍රදේශයටත් පිටත් කරන ලදී. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කුරුණෑගල හා පුත්තලම සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතාගේ මෙහෙයවීම යටතේ නිළධාරීන් රැසක් මෙම මෙහෙයුමට එක්වූහ.

“ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජෛව විවිධත්වය සහ වටිනා වනඅලි සම්පත සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, වනජීවීන්ට හානි සිදු කරන පුද්ගලයන්ට සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන්නන්ට එරෙහිව පවතින වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරිසර අමාත්‍යංශය නොපැකිලව කටයුතු කරන අතර මෙවැනි අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සහ නීති ක්‍රියාත්මක කිරීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි” පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website