කාවන්තිස්ස ඇතා සැරිසරන ප්රදේශ වල සියලූම වනජීවී කාර්යාලය ඉහළම අවධානයෙන් තබන ලෙස පරිසර අමාත්ය දම්මික පටබැඳි මහතා වනජීවී අධ්යක්ෂක ජෙනරාල්වරයාට යළිත් උපදෙස් ලබා දී ඇත.
කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර හා පහසුකම් අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් පරිසර අමාත්යවරයාගේ මැදිහත්වීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පශු වෛද්යවරුන් එක්ව දිනපතා මාර්ගගත සාකච්ඡා පවත්වමින් කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව විමසා බලන අතර, අවශ්ය ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලබයි.
ඒ අනුව පරිසර අමාත්යවරයා, පරිසර නියෝජ්ය අමාත්යවරයා, අමාත්යාංශයේ ලේකම්වරයා සහ වනජීවී අධ්යක්ෂක ජෙනරාල්වරයා පශු වෛද්ය කණ්ඩායම සමග ඊයේ (13) දිනයේ රාත්රියේද මාර්ගගත ක්රමයට සාකච්ඡාවක් පැවැත්විණ.
මේ යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පශු වෛද්ය ගංගා, පශු වෛද්ය චන්දන, පශු වෛද්ය ධර්මකීර්ති සහ පශු වෛද්ය ඉසුරු ඇතුළු වෛද්ය කණ්ඩායම් 4ක් විසින් ඇතාගේ සෞඛ්ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා රාත්රී කාලයේදී ද ඇතාගේ සංචරණ රටාවන්ගේ වෙනස්වීම් නිරීක්ෂණය විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඇතාගේ දිනෙන් දින වෙනස් වන සෞඛ්ය තත්ත්වය සහ හැසිරීම් රටාවන් සැලකිල්ලට ගනිමින් ඉදිරි වෛද්ය ප්රතිකාර තීරණය කරන අතර, ඒ සඳහා අවශ්ය වෛද්ය පහසුකම්, උපකරණ සහ අනෙකුත් සම්පත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස පරිසර අමාත්යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම, අවශ්ය ඕනෑම අවස්ථාවක අමාත්යවරයාගේ මැදිහත්වීමෙන් ඒ සඳහා අවශ්ය සහාය ලබාදීමට ද පියවර ගෙන ඇත.
තවද, කාවන්තිස්ස ඇතා සැරිසරන ගල්ගමුව, ගිරිබාව, මීගලෑව ආදී ප්රදේශ ආවරණය වන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ශේත්ර නිලධාරීන් ඉහළම අවධානයෙන් (High Alert) පසුවෙමින් අවශ්ය ආරක්ෂක හා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද අමාත්යවරයා වනජීවී අධ්යක්ෂක ජෙනරාල් වරයාට උපදෙස් ලබා දී තිබේ. මේ පිළිබඳව ප්රගතිය පරිසර නියෝජ්ය ඇමතිතුමා විමසූ අතර තව දුරටත් මැදිහත් වන ලෙස අධ්යක්ෂක ජෙනරාල් වරයාට නියෝජ්ය අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේය.
කාවන්තිස්ස ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, සෞඛ්ය තත්ත්වය අනුව අවශ්ය වෛද්ය ප්රතිකාර සහ අනෙකුත් පහසුකම් කඩිනමින් සැපයීමත් සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදිරි කටයුතු අඛණ්ඩව ක්රියාත්මක බව පරිසර අමාත්යවරයා වැඩි දුරටත් පැවසුවේය.












