පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් මේ සම්බන්ධයෙන් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කළ බවත් එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යතාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම බවයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
පළාත් සභා වහාම ස්ථාපිත කිරීම සඳහා සුදුසු මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් යෝජනා තුනක්
පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර තිබේ. එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යතාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීමය.
“කාන්තා හා තරුණ නියෝජනය සහතික කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු මඟ” මැයෙන් පසුගියදා ආචාර්ය සුජාතා ගමගේ, මහාචාර්ය සුදන්ත ලියනගේ සහ පළාත් පාලන සභික සහ නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මහත්මිය යන අයගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද විද්වත් සංවාදයේදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති විජිත හේරත් අමාත්‍යතුමා වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යොමුකර ඇති යෝජනාවලිය වන්නේ,
- පෙර ක්‍රමය නැවත ස්ථාපිත කිරීම: මේ අවස්ථාවේ කාලීනව මැතිවරණ පැවැත්වීම සඳහා එකම විකල්පය වන්නේ 2017 ට පෙර පැවති මනාප ඡන්ද සහිත සමානුපාත ක්‍රමය නැවත සරල පනත් සංශෝධනයකින් ස්ථාපිත කිරීමයි. මෙහිදී කුමන හේතුවක් නිසා හෝ නව සීමා නිර්ණයන් අවශ්‍ය වන විකල්පයන් සාකච්ඡා කිරීම නැවතත් පළාත් සභා මැතිවරණය කල් යෑමට හේතුවක් වීම නිසැක ය.
- කාන්තාවන්ට තුනෙන් එකක අපේක්ෂක නියෝජනය: මනාප ඡන්ද සහිත සමානුපාත ක්‍රමය යටතේ තුනෙන් දෙකක හෝ 33.3% ක කාන්තා අපේක්ෂක අවස්ථා සහතික කිරීම කළ හැකි වුවත් අවසානයේ පත්වන සභාවක 25% ක කාන්තා නියෝජනය සහතික කිරීම කළ නොහැක්කකි. එම යථාර්තය තේරුම් ගෙන වහාම පනත් සංශෝධනයට මුළු අපේක්ෂක ලැයිස්තුවෙන් තුනෙන් එකක් කාන්තාවන් විය යුතුය යන ප්‍රයෝගික වගන්තිය පමණක් එක් කරන ලෙස යෝජනා කරන්නෙමු. මේ අවස්ථාවේ වඩා සංකීර්ණ යෝජනා ඉදිරිපත් කිරීමද පළාත් සභා මැතිවරණය කල් යෑමට හේතු වනු ඇත. ඊට අමතරව පළාත් පාලනයේ 25% අනිවාර්ය නියෝජනය තුළින් කාන්තාවන්ට දෙන පෙර සූදානම නිසා පළාත් සභාවල කෝටාව පළාත් පාලන කෝටාවට අඩු වීම සාධාරණ ලෙස සැලකිය හැක.
- තරුණයන්ට හයෙන් එකක අපේක්ෂක නියෝජනය: තරුණයන් සඳහා මුළු අපේක්ෂක ලැයිස්තුවෙන් හයෙන් එකක් හෝ 16.7% තරුණයින් විය යුතුය යන වගන්තිය එක් කළ හැක. (දැනටමත් පළාත් පාලන මැතිවරණ සඳහා 25% ක කෝටාවක් ක්‍රියාත්මක වේ.)
සුනිල් ජයසේකර, මහලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
(කර්තෘ මණ්ඩලයේ අවධානය සඳහා පහත සටහන ද යොමුකිරීමට කැමැත්තෙමු)
සටහන් ;
අවසන් ලෙසට පළාත් සභා නවය සඳහා මැතිවරණ පැවැත් වුණේ පිළිවෙලින් 2012, 2013 හා 2014 වර්ෂවල දී එක වරකට පළාත් සභා තුනක පමණක් පවත්වන මැතිවරණ ලෙස ය. මේ වන විට එම සභා විසුරුවා හැර පිළිවෙලින් වසර නවයක්, අටක හා හතක් වී ඇත. පළාත්වල සංවර්ධන කටයුතු මෙන්ම දිට්වා කුණාටුව වැනි ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීම අකර්මන්‍ය වීමට පළාත් සභා නැති වීම හේතු සාධක වන බවට කරුණු ඇත.
පළාත් සභා ඡන්දය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීම සඳහා 2017 දී අංක 17 දරන පනත නීතිගත වූවත් අවශ්‍ය ඡන්ද කොට්ඨාස 222 නිර්ණය කිරීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුන නිසා එම පනත ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් පවතී.
එම 2017 පනත අවලංගු කර පැරණි මනාප සහිත සමානුපාත ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා සරල සංශෝධනයක් 2024-04-10 දින ගැසට් කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාගේ පුද්ගලික මන්ත්‍රී කෙටුම්පත, ශ්‍රේෂ්ඨාධිකරණයේද අනුමැතිය ලබා ගැනීමෙන්ද පසුව, 2024 පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග අහෝසි විය.
එම පනතේ ප්‍රධාන වගන්ති තුන පහත දැක්වේ
- “2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත මෙයින් අහෝසි කරනු ලැබේ.
- සියලු හේතු සහ කාරණා සඳහා 2017 සැප්තැම්බර් මස 213 වන දින බලපැවැත් වූ 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනතේ ප්‍රතිපාදන වලංගුව පැවතුණ බව සහ වලංගුව පවතින බවත්, 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත මඟින් සංශෝධන නොවූ ලෙස සැළකිය යුතු ය.
- 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව, 2017 සැප්තැම්බර් මස 22 වන දිනට පසුව සිදු කරන ලද හෝ සිදු කිරීමට තැත් කරන ලද කුමන හෝ ක්‍රියාවක් අවශ්‍ය සංශෝධන සහිතව 2017 සැප්තැම්බර් මස 21 වන දින බලපැවැත් වූ 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සිදු කළේ යැයි සැළකිය යුතු ය.”
නැවත එම පනත පණ ගැන්වීම වත්මන් ආණ්ඩුවට අපහසු කාර්යයක් නොවුනත්, 2017 පනතේ ලබා දුන කාන්තා නියෝජන කෝටාව හෝ ඊට ආසන්න කෝටාවක් ලැබිය යුතු බවට සාධාරණ මතයක් පවතී. 2017 අංක 17 දරන පනතට අනුව මැතිවරණ කොට්ඨාසයක් සඳහා වන ලැයිස්තුවෙන් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාවෙන් හයෙන් එකකට අඩු නොවන ගණනක් සහ දිස්ත්‍රික් ලැයිස්තුවේ සම්පූර්ණ අපේක්ෂකයන් ගණනින් සියයට පනහකට අඩු නොවන අපේක්ෂකයන් සංඛ්‍යාවක් කාන්තා අපේක්ෂිකාවන් විය යුතු බවට එක් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් වග බලා ගත යුතු බවට නියම කෙරේ. (මෙම කෝටා දෙකේ එකතුව සමස්ත ලැයිස්තුවෙන් තුනෙන් එකක් වේ.)
මනාප ඡන්ද සහිත සමානුපාත ක්‍රමය යටතේ පක්ෂ අපේක්ෂක ලැයිස්තුවලට කාන්තා සහ හෝ තරුණ කෝටාවක් ලබා දීම කළ හැකි වුවත් අවසානයට පත්වන කාන්තා ප්‍රතිශතය ඡන්ද දායකයා විසින් තීරණය කරනු ඇත. එම තීරණයට ඉහලින් යෑමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව පුළුල් සංවාදයක් අවශ්‍ය වේ.
පළාත් පාලන මැතිවරණය සඳහා මුළු අපේක්ෂක ලැයිස්තුවෙන් 25% තරුණයින් විය යුතු බවට 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනතෙන් දැනටමත් සම්මත වී ඇත.
පැරණි සමානුපාත ක්රමයේ ප්‍රධාන දුර්වලතාවක් වූයේ අපේක්ෂයන්ට දරන්නට වන අධික වියදම හා ප්රචාරක කටයුතු සිදු කිරීමේ විශාල වපසරියයි. 2014 වසරේ අවසන් වරට පැවතුණු පළාත් සභා මැතිවරණවලට පසු සම්මත වූ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත, වෙනත් නීතිමය විධි විධාන හා මැතිවරණ ප්රචාරණයේ දී සමාජ මාධ්‍ය වඩා ප්‍රචලිතව යෙදීම යන කරුණු නිසා වපසරිය හා වියදම යන ප්‍රශ්න යම් තරමකට සමනය බව අපගේ විශ්වාසයයි.
පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහා මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයක් නොව මනාප සහිත සමානුපාත ක්‍රමයක් වඩා සුදුසු බවට ද විද්වතුන් අතර මතයක් පවතී. සත්‍ය වශයෙන් ම පැරණි සමානුපාත ක්‍රමය පළාත් සභා සඳහා නැවත වඩා සාර්ථකව යොදා ගැනීමට එළඹෙන මැතිවරණය හොඳ අවස්ථාවකි. එවැනි පළාත් සභා මැතිවරණයකින් හා පසු ගිය 2028 හා 2025 වසරවල මිශ්‍ර මන්ත්‍රී ක්‍රමයක් යොදා ගනිමින් පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙනුත් ලබා ගන්නා අත්දැකීම්වලින් සම්පන්නව, පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන යන තල තුළින් සිදු විය යුතු සේවයට සරිලන නියෝජනය ද සලකා බලමින් සමස්ත මැතිවරණ ක්‍රම ප්රතිසංස්කරණයක් සඳහා ඉදිරියේදී එළඹීමට හැක.













