22 වැනි සංශෝධනය : ඔප්පු වන්නේ ප්‍රතිඵලවලින්මය – ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය දැන් ගෙන අවසන් බවක් පෙනෙන්නට තිබේ. එය නීතියක් බවට පත්කිරීමේ තම අභිලාෂය හමුවේ ආණ්ඩුව සැලී නොමැති බව පෙනේ. ආණ්ඩුවේ කෝණයෙන් බලන කල, 22 වැනි සංශෝධනය සහ ඊට අනුබද්ධ නීති මගින් සියලුම විනිසුරුවරුන්ගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම හරහා ඔවුන් හමුවේ දැනට පවතින නඩු කටයුතු අවසන් කිරීමට අතිරේක කාලයක් හිමිවනු ඇත. එමගින් නඩුවක් විභාග වන අතරතුර විනිසුරුවරුන් මාරුවීම සහ සංකීර්ණ නීතිමය නඩු නැවත මුල සිට ආරම්භ කිරීමට සිදුවීම වැළකෙනු ඇත.

ඇතැම් නඩුවලදී දශක ගණනාවක් තිස්සේ සාධාරණය ඉල්ලා සිටින වින්දිතයන්ට මෙම නඩු අවසන් වීම මහත් සහනයක් වනු ඇත. එමෙන්ම, නීතිවිරෝධී ක්‍රියාවල නිරතවූවන්ගෙන් බහුතරයක් දේශපාලන විපක්ෂයේ සිටින බැවින් මෙය ආණ්ඩුවට ද වාසිදායක වනු ඇත. අතීතයේදී, විනිසුරුවරුන් නඩු විභාග වන අතරතුර උසස්වීම් ලැබීම, ස්ථාන මාරුවීම හෝ විශ්‍රාම යෑම ඇතුළු හේතු නිසා නඩු කටයුතු ප්‍රමාද වීම පිළිබඳව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් මෙන්ම එම ක්ෂේත්‍රයේ නීතිඥයන් ද කණගාටුව පළකර තිබිණි.

22 වැනි සංශෝධනයට එරෙහිව නැගෙන ප්‍රතිපත්තිගරුක විරෝධය මතුවන්නේ එම සංශෝධනය ක්ෂණිකව සහ හදිසියේ කරළියට පැමිණීම හේතුවෙනි. මෙම තර්කය ඉදිරිපත් කරන පිරිස් පෙන්වාදෙන්නේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම මගින් ආණ්ඩුව කෙරෙහි ගැතිභාවයක් නිර්මාණය වී අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීමට ඉඩ ඇති බවයි. විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම, රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රවලට ද අදාළ වන පරිදි සහ ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අඩංගු වන පරිදි සමස්ත ව්‍යවස්ථාපිත සංශෝධන පැකේජයක කොටසක් ලෙස සිදුවන්නේ නම් ඔවුන් වඩාත් සුදුසු බව ඔවුහු පෙන්වාදෙති. මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙය සිදුවන වේලාවයි. නිරන්තරයෙන් සිදුකරන මහජන මත විමසුම්වලින් පෙනීයන්නේ ඉහළ මට්ටමේ දූෂණය සහ අපරාධකාරීත්වය හැකි ඉක්මනින් අවසන් කළ යුතු බව මහජනතාවගෙන් බහුතරයකගේ මතය බවයි. වගවීම යන්න ඉටුනොවූ පොරොන්දුවක් ලෙස පවතිනවාට වඩා එය සැබෑවක් වනවාට ඔවුන් කැමතිය. අද වන විට පවතින මහජන මතය වන්නේ දණ්ඩමුක්තියේ යුගය අවසාන විය යුතු බවයි.

පසුගිය කාලයේ දේශපාලනඥයන්ගේ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන ආයතන මගින් සිදුකළ විමර්ශන, පසුව පැමිණි ආණ්ඩුවල දේශපාලන උවමනාවක් නොමැතිකම නිසා ව්‍යර්ථ වී ගියේය. එහෙත් මෙවර එවැනි දේශපාලන උවමනාවක් ඇති බව පැහැදිලිවම පෙන්නුම් කරන අතර, සතියෙන් සතිය, මාසයෙන් මාසය හෙළිදරව් වන දූෂණ සහ අපරාධ නඩු මාලාව ඊට සාක්ෂි දරයි. මෙලෙස පරීක්ෂණවලට ලක්වන පිරිස් මෙම ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කිරීමට උත්සාහ කිරීම ද පුරෝකථනය කළ හැකිය. ඇතැම් පිරිස් මෙම නඩු පැවරීම් නීත්‍යානුකූල වගවීමකට වඩා දේශපාලන පළිගැනීමක් ලෙස අර්ථ දක්වමින් ඒ ඔස්සේ තර්ක කරනු ඇත. තවත් පිරිසක් අදාළ ආයතනවල ස්වාධීනත්වය ප්‍රශ්න කරමින් මහජන මතය තමන්ට අවශ්‍ය ලෙස නිර්මාණය කර ගැනීමට උත්සාහ කරනු ඇත. මෙම ප්‍රතික්‍රියා ගැන පුදුම විය යුතු නැත. එහෙත් වගවීම ඉටුකරන ආයතනවල විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීම මෙයින් වඩාත් වැදගත් වේ.

  • වෙනස සුරක්ෂිත කිරීම

‘සමාජය යනු අශ්වයකු නොව කොටළුවෙකි’ යනුවෙන් පැරණි කියමනක් තිබේ. කටු සැමිටියෙන් කොපමණ පහර දුන්නද අශ්වයකු ඊට ප්‍රතිචාර දක්වමින් ඉදිරියට යනු ඇත, නමුත් කොටළුවෙකුට අධික ලෙස පීඩනය දුනහොත් ඌ පිට උඩ සිටින්නා බිමට ඇද දමනු ඇත. මෙම ප්‍රස්ථාව පිරුළ මගින් සමාජයක් පාලනය කිරීම පිළිබඳ වැදගත් සත්‍යයක් පැහැදිලි කරයි. වැරදි ක්‍රියා හෙළිදරව් කිරීමට සමත් වූ නමුත් පසුව සමගිය ගොඩනැගීමට අපොහොසත් වූ සමාජ පිළිබඳ උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. විශාලතම අනතුර වන්නේ වරදකරුවන් තමන් නිවැරදිකරුවන් බව පැවසීම පමණක් නොවේ, එය සාමාන්‍ය දෙයකි. විශාලතම අනතුර වන්නේ දඬුවමම දේශපාලනයේ ප්‍රධාන භාෂාව බවට පත්වීමයි. එසේ වූ විට, සෑම ආණ්ඩු වෙනසක් සමඟම අද දෙන තීන්දු හෙට දිනයේදී නැවත සමාලෝචනය කිරීම, ආපසු හැරවීම හෝ ඊට පළිගැනීම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2024 මැතිවරණ තීන්දුව මගින් ජාතික ජන බලවේගය බලයට පත්කරමින් සම්පූර්ණයෙන්ම නව දේශපාලන නායකත්වයක් කරළියට ගෙන ආවේය. මතභේද සහ සිවිල් ගැටුම් උග්‍රවීම වෙනුවට ඒවා පාලනය කරගැනීම සඳහා මෙම සංක්‍රාන්ති සමය ඉතා ප්‍රවේශමෙන් සිදුවිය යුතුය. එබැවින් 22 වැනි සංශෝධනයෙන් පසු කාලපරිච්ඡේදය තුළ නීතිමය නිවැරදිභාවයට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඊට දේශපාලන ප්‍රඥාව අවශ්‍ය වේ. වගවීම යන්න දේශපාලන තරඟකාරීත්වයේ තවත් අංගයක් බවට පත්වී මඟහැරෙනවා වෙනුවට, ආයතනවල නීත්‍යානුකූලභාවය ශක්තිමත් කරන ක්‍රියාවලියක් ලෙස දැකිය යුතුය. සාධාරණය ඉටුකිරීම යනු නීතිමය මාර්ගයෙන් දේශපාලනය ඉදිරියට ගනයෑම පමණක් ලෙස ජනතාව දුටුවහොත්, වරදකරුවන්ට දෙන සාධාරණ දඬුවම් කෙරෙහි පවා දිගුකාලීන සාධාරණත්වය රැඳී පවතින මහජන විශ්වාසය බිඳවැටෙනු ඇත.

මෙම සන්දර්භය තුළ, මෙම සංශෝධනයේදී ඇතැම් විරුද්ධවාදීන්ගේ හැසිරීම කණගාටුදායකය. ඔවුන් 22 වැනි සංශෝධනය ඉදිරියට ගෙනයෑම ගැන ආණ්ඩුවේ නායකත්වයට පහරදෙනවා පමණක් නොව, විනිසුරුවරුන්ට පෞද්ගලිකව පහරදෙමින් අධිකරණයටම බරපතල චෝදනා එල්ල කරති. පුදුමයකට මෙන්, උසාවි තීන්දු ලබාදීමට පෙර අධිකරණය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කිරීම මගින්, ඔවුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ යැයි කියන ආයතනයම විනාශ කිරීමේ අවදානමක් ඔවුන් විසින්ම නිර්මාණය කරයි. 22 වැනි සංශෝධනයට එරෙහිව එක්ව සිටින නීතිඥයන්ට ව්‍යවස්ථාපිත ගැටලු මතුකිරීමට සම්පූර්ණ අයිතියක් සහ වගකීමක් ඇත. පනත් කෙටුම්පත් විවේචනය කිරීමට විපක්ෂයේ දේශපාලනඥයන්ටද අයිතියක් ඇත. එහෙත් විනිසුරුවරුන් තීරණ ගැනීමටත් පෙර ඔවුන්ගේ පූර්ණ නිවැරදිභාවය පූර්ව විනිශ්චයකට ලක්කරමින් කරන සමපේක්ෂන චෝදනා මගින් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොකිරීමේ වගකීමක් ද ඔවුන් දෙපිරිසටම ඇත. එවැනි තර්ක මගින් යම් ආණ්ඩුවකට හෝ විපක්ෂයකට නතුව නැති, මුළු රටටම අයිති ආයතනයක් දුර්වල කරනු ලබයි.

  • සැබෑ පරීක්ෂණය

ශ්‍රී ලංකාව වසර ගණනාවක ප්‍රචණ්ඩකාරී ගැටුම් සහ දැඩි දේශපාලන ධ්‍රැවීකරණයෙන් ගොඩඑමින් පවතී. අපගේ ඉතිහාසයේ බොහෝ විට, එක් ආණ්ඩුවක ජයග්‍රහණය ඊළඟට බලයට පත්වන ආණ්ඩුවේ නින්දාවට හේතුවක් විය. අද නැවත ගොඩනඟන ආයතන හෙට සිදුවන බල හුවමාරුව හමුවේ පවා සුරක්ෂිත විය යුතුය. ඒවා අද ජයග්‍රහණ සමරන අයගේ පමණක් නොව, කවදා හෝ විපක්ෂයේ අසුන්ගන්නා අයගේද විශ්වාසය දිනාගත යුතුය. දේශපාලන භේදවලින් ඔබ්බට විශ්වාසය දිනාගන්නා ආයතන, ඒවා නිර්මාණය කළ ආණ්ඩුවලට වඩා ශක්තිමත් විය යුතුය මිස දුර්වල නොවිය යුතුය.

ජාතික අභියෝගය වන්නේ, තවදුරටත් වගවීම ඉටුකරනවාද නැද්ද යන්න පමණක් නොවේ. බලවතුන් ආරක්ෂා කරමින් වින්දිතයන්ට සාධාරණය අහිමි කළ දණ්ඩමුක්ති සංස්කෘතිය අවසන් කරමින් නීතිය කෙරෙහි විශ්වාසය නැවත ඇතිකිරීමට වගවීම සමත් වන්නේද යන්නයි. රට මෙම මොහොත එනතුරු ඉතා දීර්ඝ කාලයක් බලාසිටියේය. අනවශ්‍ය දේශපාලන ගැටුම් හෝ අධිකරණයට එල්ල කරන වගකීම් විරහිත ප්‍රහාර මගින් එය නැවත අඩපණ නොකළ යුතුය. අවසාන වශයෙන්, 22 වැනි සංශෝධනයේ විවේචකයන්ට දිය හැකි ප්‍රබලම පිළිතුර ලැබෙන්නේ, රජයේ අමාත්‍යවරුන්ගෙන් හෝ පාර්ලිමේන්තු කථාවලින් නොවේ. එය ලැබිය යුත්තේ විනිසුරුවරුන්ගෙන්මය.

අධිකරණයේ සාමාජිකයන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම මගින් ඔවුන් ලබාදෙන සෑම නඩු තීන්දුවක් හරහාම තමන් සැබවින්ම ස්වාධීන, අපක්ෂපාතී සහ කිසිදු දේශපාලන බලධාරියකුට යටත් නොවන බව ඔප්පු කිරීමට ඔවුන්ට විශාල වගකීමක් පැවරේ. ඔවුන් බියෙන් හෝ පක්ෂපාතීත්වයෙන් තොරව නීතිය සුරකිනවා නම්, අසුබවාදීන්ගේ අනාවැකි පදනම් විරහිත බව ඔවුන් ඔප්පු කරනු ඇත. නීති ක්ෂේත්‍රයේ යෙදී සිටින අය, ජනමාධ්‍ය, සිවිල් සමාජය සහ දේශපාලනඥයන් ද අධිකරණ තීන්දු විවේචනය කිරීම අධිකරණ ආයතනයටම එල්ල කරන ප්‍රහාරයක් බවට පත් නොවිය යුතු බව වටහා ගත යුතුය. මෙම මොහොතේ සෑම පාර්ශවයකටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ හැකි විශාලතම සේවය වන්නේ සාධාරණය සෑම පෞරයෙකුටම එක හා සමානව හිමිවන බවටත්, කොතරම් බලවත් වුවද කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවටත් වන මහජන විශ්වාසය ශක්තිමත් කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website