
අඛණ්ඩව සිදුකරමින් පවතින අපරාධ විමර්ශනවල තවත් එක් සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස මෙරටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සැඟව සිටි මෙරට සංවිධානාත්මක අපරාධ සිදුතළ ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නම් සැකකරු අද (25) දින අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන එන ලදී.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යනත්ර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබූනි.
ඒ් අනුව රාජ්‍ය බුද්ධි සේවය (SIS), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බුද්ධි අංශය සහ ඩුබායි පොලිසිය සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වාගනිමින් සිදුකරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු 2025 ඔක්තෝබර් මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින අවබෝධතා ගිවිසුම (MOU) අනුව අදාළ ලේඛන රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් වෙත නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ශ්‍රී ලාංකික කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් මොහුව ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර වැඩිදුර විමර්ශන සහ අවශ්‍ය නීතිමය කටයුතු සඳහා සැකකරු මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත භාර දී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ අතර පැවති සමීප සම්බන්ධීකරණය මෙන්ම සැකකරු මෙරටට ගෙන්වා ගැනිම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සහ ඩුබායි පොලිසිය විසින් මේ සඳහා ලබාදුන් ප්‍රසංසනීය සහයෝගය සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සාර්ථක කර ගැනීම සඳහා ඉවහල් විය.
මෙම සමස්ත ක්‍රියාවලිය පුරා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් අගයමින් කෘතඥතාව පළ කර ඇත.
දේශසීමා ඉක්මවා සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා එක්වෙමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම සඳහා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර සහයෝගීතාවය තවදුරටත් ඇතිකරගැනීමේ වැදගත්කම මෙම මෙහෙයුම මගින් තවදුරටත් තහවුරු කරයි.

මෙම සැකකරුට එරෙහිව ඇති අපරාධ චෝදනා –
- 2013.09.16 වන දින හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම.
- 2021 වර්ෂයේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථානයකට ඇතුලු වී ලොරි රථයකට ගිනි තබා අනර්ථය කිරීම
- 2021 වර්ෂයේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී ඉහත ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීම.(තර්ජනය කර මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා මුදල් ලබා නොදීම හේතුවෙන්)
- 2022.10.16 දින හංවැල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකු කපාකොටා බරපතල තුවාල සිදු කිරීම.
- 2022.12.18 වන දින හරස් පාර, හංවැල්ල ප්‍ර දේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාලව ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම. (අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පවතී. )
- 2023.12.25 දින පාදුක්ක පොලිස් වසමේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2024.03.04 දින හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය සිදු කිරීම.
- 2024.09.30 දින නෙළුවත්තුඩුවේ පදිංචි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2025.07.06 දින කොස්ගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
- 2025.07.19 දින කොල්ලුපිටිය පොලිස් වසමේ සමාජ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් ටී.56 ගිනි අවිය හා උණ්ඩ 25 අදාළ අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගයලයාට ලබා දීම.
- 2025.08.12 දින මීගොඩ පොලිස් වසමේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
- 2025.08.13 මීගොඩ පොලිස් වසමේ මුතුහේන පාරේ ස්ථානයකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පලායාමේ සිද්ධිය මෙහෙයවීම.
සැකකරු විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්, අනෙකුත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධව හා නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකෙරෙන වත්කම් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.
















