
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් 2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.
තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.
අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.
තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.















