නව රියදුරු බලපත්‍ර දඩුවම් ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වන ආකාර ගැන ‘මේ නිල තොරතුරු’ ඔබ දැන සිටියා ද ?

දැනට අලුතින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතියක් වන නව රියදුරු බලපත්‍ර දඩුවම් ලකුණු ක්‍රමයේ ප්‍රධාන අරමුණ, නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් දීම බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

ලොව පුරා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භාවිත කරන ප්‍රචලිත ක්‍රමවේදයක් වන මෙම ක්‍රමවේදය පිළිබඳව මෙරට මහජනතාව දැනුවත් කිරීම සහ එයට හුරු කිරීම සඳහා වන මාස හයක නියමු ව්‍යාපෘතිය ඒ අනුව 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වේ.

යෝජිත ක්‍රමවේදය යටතේ රියදුරෙකු සිදු කරන රථවාහන වරදෙහි ස්වභාවය අනුව රියදුරාගේ රියදුරු වාර්තාවට ලකුණු එකතු කෙරේ. එම ලකුණු සංඛ්‍යාව 30 දක්වා ළඟා වූ විට පද්ධතිය මඟින් අදාළ රියදුරු බලපත්‍රය ස්වයංක්‍රීයව අත්හිටුවීමට නියමිතය.

බලපත්‍රය අත්හිටුවීමෙන් අනතුරුව අදාළ රියදුරු එය ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදිය යුතුය. සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා බලපත්‍රය අහිමි වන අතර, නියමිත පුහුණු වැඩසටහන් සාර්ථකව අවසන් කිරීමෙන් එම කාලය මාස තුනක් දක්වා අඩු කරගැනීමට අවස්ථාව සැලසෙන බව ද මෙහිදී සාකච්ඡා විය.

ඒ අනුව, රථවාහන වරදක් සිදු කර අදාළ දඩ මුදල පොලිසියට ගෙවීමෙන් අනතුරුව, එම වරද වෙනුවෙන් ලකුණු එකතු වීමට නියමිතව තිබූ බව දැනුම් දෙමින් රියදුරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් (SMS) යැවීමට නියමිතය.

මෙහි අරමුණ මහජනතාව බිය ගැන්වීම නොව, නව ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කරමින් රථවාහන නීතිවලට අනුකූලව කටයුතු කිරීමට රියදුරන් දිරිගැන්වීම බව ද කාරක සභාවේ දී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website