පොලිස්පතිවරයාගේ උපදෙස් පිරිදි මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මාලාව යටතේ පසුගිය 13 වැනි වන දින සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලයින් 28,566 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇත. කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි දියත් කළ මෙම මෙහෙයුම්වලදී විවිධ වැරදි හා අපරාධවලට සැකපිට පුද්ගලයින් 686 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතරින් පුද්ගලයින් 18 දෙනෙකු විවිධ අපරාධයන්ට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් වේ. එමෙන්ම අධිකරණය මඟින් නිකුත් කර තිබූ දින වරෙන්තුකරුවන් 304 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 142 දෙනෙකු ද මෙම විශේෂ මෙහෙයුම් අතරතුරදී අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, මාර්ග අනතුරු අවම කිරීම සහ රථවාහන විනය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ රථවාහන මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ රියදුරන් 60 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 171 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. එමෙන්ම, රථවාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෙනත් රථවාහන වැරදි 4,507ක් සම්බන්ධයෙන් ද මෙහිදී නීතිමය පියවර ගෙන තිබේ. දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ අපරාධ මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි













