ඔබව රවටන Scams මොහොතක නොසැලකිල්ලෙන් ඔබේ මුදල් අහිමි කරගන්න එපා ! – පොලිසියෙන් නිවේදනයක්

දැනට බහුලව සිදුවන ප්‍රධාන පෙළේ වංචා කිහිපයක් මෙසේ දැක්විය හැක. බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ඔබේ ගිණුම් අත්හිටුවා ඇති බව පවසා, එය යථා තත්ත්වයට පත් කිරීමට යැයි පවසමින් ඔබේ ජංගම දුරකථනයට එන රහස් අංක (OTP) ඉල්ලා සිටීම, ඔබ අයදුම් නොකළ රැකියා හෝ ඔබට ලැබී ඇති ලොතරැයි ත්‍යාග ලබාදීමට යැයි පවසමින්, එහි “රේගු ගාස්තු” හෝ “ලියාපදිංචි ගාස්තු” ලෙස වෙනත් ගිණුම්වලට මුදල් තැන්පත් කර ගැනීම, YouTube වීඩියෝ Like කිරීමෙන් හෝ Link ක්ලික් කිරීමෙන් නිවසේ සිටම දිනකට විශාල මුදලක් සෙවිය හැකි බව පවසා පසුව වැඩි ලාභ ලැබීමට මුදල් ආයෝජනය කරන ලෙස පොළඹවා ගැනීම, විදේශ රටක සිටින මිතුරෙකු (බොහෝවිට ව්‍යාජ ගිණුම් හරහා හඳුනාගත්) ඔබට වටිනා තෑග්ගක් එවා ඇති බවත් එය නිදහස් කරගැනීමට ලංකාවේ ආයතනයකට මුදල් ගෙවිය යුතු බවත් පවසා සිදුකරන වංචා, උසස් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ අනන්‍යතාවයන් අවභාවිත කරමින් ව්‍යාජ WhatsAp සහ Telegram ගිණුම් සකසා සිදුකරනු ලබන මූල්‍ය වංචාවන් සහ කප්පම් ගැනීම්.

වංචාකරුවන් සැමවිටම උත්සාහ කරන්නේ ඔබව බිය ගැන්වීමට හෝ ලෝභකම ඇති කර වහාම තීරණයක් ගැනීමට සැලැස්වීමයි. එවැනි අවස්ථාවක මොහොතක් නතර වී බුද්ධිමත්ව සිතන්න. කිසිවිටෙකත් රහස්‍ය තොරතුරු ලබා නොදෙන්න. ඔබේ බැංකු ගිණුම් අංක, කාඩ්පතේ පිටුපස ඇති CVV අංකය, Online Banking Passwords හෝ ඔබේ දුරකථනයට එන OTP (One-Time Password) අංක කිසිදු හේතුවක් මත කිසිම පුද්ගලයෙකුට ලබා නොදෙන්න.

ලංකාවේ කිසිදු බැංකුවක් දුරකථනයෙන් හෝ SMS මඟින් මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ නැත. මහන්සියක් නොවී කෙටි කලකින් අධික ලාභ ලබා දෙන බව පවසන ඕනෑම ක්‍රමයක් වංචාවක් වීමේ සම්භාවිතාව 99% කි. සැක කටයුතු Apps හෝ වෙබ් අඩවිවල මුදල් ආයෝජනයෙන් වළකින්න. යම් ආයතනයකින් හෝ බැංකුවකින් යැයි පවසමින් ඇමතුමක් ලැබුණහොත්, වහාම ක්‍රියාත්මක නොවී අදාළ බැංකුවේ නිල ක්ෂණික ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව විමසන්න. ඔබේ නොසැලකිල්ල වංචාකරුවෙකුගේ ජයග්‍රහණයකි. බුද්ධිමත් වන්න, අවධානයෙන් සිටින්න!

මූලාශ්‍රය – https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website