ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරිමන්දාරු ප්රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) සවස් කාලයේදී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමන්දාරු ප්රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු දෙකක් (02) වූ කුඩා දැරියකි.
පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දරුවා පදිංචි නිවසට යාබද නිවස ආසන්නයේ අනාරක්ෂිත ලෙස තිබූ, ජලය පිරුණු ළිඳකට මෙම දැරිය වැටී ඇති බවයි. පසුව ඇයව වහාම ළිඳෙන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇති බව වාර්තා වේ.
මියගිය දැරියගේ මෘතදේහය මේ වන විට ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















