කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසිවලට යටත්ව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී අනුමැතිය හිමි විය.
මෙහිදී 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් මූලික සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සපයනු ලබන සේවා සඳහා එකතු කළ අගය මත බද්ද පැනවීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු විය. මේ අනුව කාරක සභාව විසින් මෙරට මාර්ගගත යෙදවුමක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ලියාපදිංචි වී සිටින ප්‍රවාහන සේවා සැපයුම් සමාගම් දෙකක් සංසන්දනය කිරීම සිදු කළ අතර, මෙම බදු සංශෝධනයෙන් පසු අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන මුදල් ප්‍රමාණයන් පිළිබඳවද එහිදී පරීක්ෂා කෙරිණි. මේ අනුව, දේශීය වශයෙන් ලියාපදිංචි වී සිටින සහ විදේශීය වශයෙන් ලියාපදිංචිවී සිටින සමාගම් සඳහා එකතු කළ අගය මත බදු සංශෝධනයෙන් පසුවද යම් අසමානතාවක් නිරීක්ෂණය වන බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව මුල් කරගත් ඩිජිටල් ව්‍යවසායකයින් සම්බන්ධයෙන් VAT බද්ද හරහා ගෝලීය වෙළඳපොළ තුළ ඇති වන බලපෑම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය කණගාටුව පළ කළේය. ඩිජිටල් සේවාවන් සඳහා මෙරට තුළ ක්‍රියාත්මක වන VAT බද්ද පිලිපීනය සහ ඉන්දියාව වැනි රටවල ක්‍රියාත්මක වන ආකාරයට සමාන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.
කාර්තුවකට රුපියල් මිලියන 15 සිට කාර්තුවකට රුපියල් මිලියන 9 දක්වා පිරිවැටුම සඳහා VAT බදු සීමාව අඩු කිරීමෙන් අපේක්ෂිත නව VAT ලියාපදිංචි කිරීම් සංඛ්‍යාව පිළිබඳව කාරක සභාව විමසූ අතර, එම සංඛ්‍යාව 10,000 ක් පමණ වනු ඇති බවට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ. මෙය තොග සහ සිල්ලර වෙළඳසැල්, රුපලාවන්‍ය සේවා සහ අනෙකුත් කුඩා ව්‍යාපාර සඳහා අදාළ වනවාද යන්න පිළිබඳව සහ එවැනි ව්‍යාපාරවලට POS යන්ත්‍ර (POS machines) ලබාගැනීම ඇතුළු වියදම් ලෙස රුපියල් 200,000 ක් පමණ වැය කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. මෙම අවශ්‍යතාවන් ඉටු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල වැඩි නොකර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට VAT බදු සඳහා අනුවර්තනය වීම සඳහා සහාය ලබාදෙන්නේ කෙසේදැයි සලකා බලන ලෙසද කාරක සභා සාමාජිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. එසේම, POS යන්ත්‍ර භාවිතා කිරීම දිරි ගැන්වීම සඳහා රජය සලකා බලමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) අයත් මූලික සංශෝධන පිළිබඳ වෙන් වෙන්ව පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමෙන් පසු අදාළ රෙගුලාසි සකස්කොට ප්‍රකාශයට පත් කිරීමට පෙර කාරක සභාවේ අනුමතිය ලබා ගැනීමේ කොන්දේසියට යටත්ව ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දීම සිදු විය.
මීට අමතරව, ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ බදු අනුප්‍රමාණයන් ප්‍රකාශයට පත්කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 2026 මාර්තු 31 දිනැති අංක 2482/09 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති නියමය සහ 2026 මැයි 04 දිනැති 2487/02 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති නියමය සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමි විය. 2487/02 දරන ගැසට් නිවේදනය මගින් බඩ ඉරිඟු සඳහා පනවා තිබූ වෙළඳ භාණ්ඩ බද්ද රු. 25/- සිට රු. 50/- දක්වා වැඩි කිරීම අරමුණු කර තිබේ. මේ පිළිබඳ සාකච්ඡාවේදී ජනතාව ගන්නා ආහාර වේල ප්‍රෝටීන් ඌනතාවයෙක් දක්නට ලැබෙන තත්ත්වයන් තුළ, බඩ ඉරිඟු සඳහා ආනයන තීරුබදු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවයන් වන කුකුල් මස් වල සහ බිත්තරවල මිලට ඇති වන බලපෑම සම්බන්ධයෙන් සලකා බලන ලෙස කමිටුව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026 මැයි 07 දිනැති අංක 2487/29 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය.














