පොලිස් අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් සංවිධානාත්මක අපරාධ ජාලයන් නීති විරෝධී ගිනි අවි හිඟයකට මුහුණ දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.
ඊයේ (11) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ 2021 සහ 2024 අතර කාලය තුළ බලධාරීන් මැෂින් තුවක්කු සහ ප්‍රහාරක වර්ගයේ ආයුධ 10,804ක් අත්අඩංගුවට ගත් බවයි.
සංවිධානාත්මක අපරාධ ආශ්‍රිත ඝාතන තියුණු ලෙස අඩු වී ඇති බව හෙළි කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා 2026 පළමු භාගයේදී වාර්තා වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ 20කට වඩා අඩු සංඛ්‍යාවක් බවත් කීවේය.
පෙර වසරවලට සාපේක්ෂව පොලිසිය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වඩා හොඳ පාලනයකට ගෙන ඒමට සමත් වූ බවත් ඔහු පැවසුවේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රධාන වශයෙන් T-56 සහ A.K 47 ප්‍රහාරක රයිෆල්, මිලිමීටර් නවයක බ්‍රව්නින් පිස්තෝල සහ රිවෝල්වර වැනි ගිනි අවි භාවිතා කරන බව පැවසූ කොඩිතුවක්කු මහතා 2020 දී එවැනි ආයුධ 1,459ක්, 2021 දී 2,225ක්, 2022 දී 1,684 ක, 2023 දී 3,022ක් සහ 2024 දී 2,414ක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙළි කළේය.
අපරාධ ජාල දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි වෙත යොමු වී ඇති බවට පොලිසිය සාක්ෂි ද අනාවරණය කරගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඊශ්‍රායලයේ නිෂ්පාදිත මිනි උසි සබ්මැරීන් තුවක්කුවට සමාන හැකියාවන් සහිත දේශීයව නිෂ්පාදනය කරන ලද අවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෑතකදී අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේය, එය හමුදා විශේෂ බලකායන්, හමුදා කමාන්ඩෝ භටයින්, විශේෂ කාර්ය බලකාය සහ ජනාධිපති ආරක්ෂක අංශය විසින් බහුලව භාවිතා කරන ගිනි අවියක් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
නීති විරෝධී ආයුධ හිඟය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දේශීය නිෂ්පාදනය මත වැඩි වැඩියෙන් විශ්වාසය තබන බවට තවත් සාක්ෂියක් ලෙස පොලිසිය විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද “ගල්කටස්” ගිනි අවි 19ක් ද දින හතරකට පෙර අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.














