පළාත් සභා මැතිවරණය පැවැත්වීම: ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයට කරන යෝජනාව

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුවාවී පළාත් සභා කල් දැමීම නොකළ යුතු බවත් අතුරුදහන් කර ඇති  පළාත් සභා ඡන්ද විමසීම වහා පැවැත්වීමට රජය වහාම පියවර ගත යුතු බවත්  නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටී.

මෙම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමකින් තොරව ආණ්ඩුකාරවර පාලනය යටතේ පළාත් සභා පවත්වා ගෙන යාම පළාත් පරිපාලනය බිඳවැටීමට හේතු වී ඇති බැවින්, වහා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට රජය පියවර ගත යුතු ය.  ‍ක්‍රියාකාරී දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පැරණි දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය යටතේ ඊළඟ ඡන්ද විමසීම පැවැත්වීමට විරැද්ධත්වයක් නොමැති බැවින්, පළාත් සභා මහජන නියෝජිතයින් සහිතව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරුන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටී. 

2017 සිට 2019 දක්වා කාලය තුල අවස්ථා ගණනාවක දී පළාත් සභිකයින්ගේ කාලාවසනය සිදුවී මහජන නියෝජිතයින් නොමැති සභා මේ වන විට ක්‍රියාත්මක වේ.  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් පමණක් පළාත් සභාවේ දෛනික කටයුතු සඳහා මැදිහත් වෙමින් ඇත. එමගින් තනි පක්ෂ ක්‍රමයක පාලනයක් බිහිවී, පළාත් සභා පිහිටුවීමේ උතුම් අරමුණු සම්පූර්ණයෙන්ම ගිලිහි ගොස් ඒවා විධායකයේ අත්තනෝමතික මෙහෙයවීමට නතුවී ඇත.

තනි පුද්ගලයෙකු මත කේන්ද්‍රණය වන ආණ්ඩුකරණ ව්‍යුහයක් තුලින් බලය බෙදීමේ සංකල්පය නිශේධනය වන්නේය. මහජන නියෝජනයක් නොමැති පළාත් සභාව, නිලධාරිවාදයේ තවත් දිගුවක් පමණකි.

තව ද, ආණ්ඩුවේ හෝ රාජ්‍ය සේවයේ කිසිදු තනතුරක් නොදරණ පක්ෂ ‍ලේකම්වරයෙකු පමණක් වන ටිල්වින් සිල්වා මහතා පලාත් සභා ඡන්දය මේ වසරේ දී නොපැවැත්වෙන බව යාපනයේ දී ප්‍රකාශ කර ඇත. කිසිදු පක්ෂ ලේකම්වරයෙකුට පලාත් සභාවන්හි අනාගතය තීරණය කිරීමේ කිසිදු බලයක් නොමැති අතර, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමට සමගාමීව  මෙරට ඇරඹුණු බහු පක්ෂ ක්‍රමය විනාශ නොවිය යුතුය.

ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, පරමාධිපත්‍යය අත්හළ නොහැකි  බවත්, පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන බැවින් කුමන හෝ දේශපාලනඥයකුට හෝ නිලධාරියකු හෝ එයට බාධා කිරීමේ හැකියාවක් නැත.  අතිගරු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පළමු ධුර කාලය තුළදී වයඹ පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සාහ දැරූ අවස්ථාවේ දී, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබූයේ  ඡන්ද කල් දැමිය හැක්කේ ජනතාවගේ කැමැත්ත මත, එනම් ජනමත විචාරයණයක් මගින් පමණක් බවය.

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ද, ඡන්ද විමසීමක් නිසි කාලයට නොපැවැත්වීම හිමිකම් උල්ලංඝනයකි.

රජය මේ වන විට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මුවා වෙමින් පලාත් ඡන්දය කල් දමා ඇත. තේරීම් කාරක සභාවේ කාලය ද ඉකුත් වෙමින් පවතින නමුත් රජය පළාත් සභා ඡන්දය පැවැත්වීමට කිසිදු සාධනීය පියවරක් ගනු නොලබයි.  2017 අංක 17 දරණ  පළාත් සභා ඡන්ද විමසීම් පනත වාක්‍ය දෙකකින් සංශෝධනය කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීමේ හැකියාව රජයට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදී මුලික නියමයන්ට ගරු කරමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පහතින් අත්සන් කරන අපි සැම අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අත්සන් කළේ, සෙන්දිල් තොන්ඩමන්, එම්.එල්.එ්.එම්. හිස්බුල්ලා, ශාන් විජයලාල් ද සිල්වා, ටිකිරි කොබ්බෑකඩුව, අසාත් සාලි, සුරේන් රාඝවන්, ලලිත් යු. ගමගේ, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, සරත් ඒකනායක, පේෂල ජයරත්න, අනුර විදානගමගේ, ලක්ෂ්මන් යාපා ‍අබේවර්ධන, රජිත් කීර්ති තෙන්නකෝන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website