ඡන්ද අයිතිය විදෙස්ගත ශ්‍රී ලාංකිකයිගේ ද අයිතියක් ද ?

You are currently viewing ඡන්ද අයිතිය විදෙස්ගත ශ්‍රී ලාංකිකයිගේ ද අයිතියක්  ද ?

1931වර්ෂයේ ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරටට සර්වජන ඡන්ද බලය හිමි වී මේ ගෙවී යන්නේ නව වැනි දශකයයි. එය අනුවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි,

“ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. ඒ පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. අන් සතු කළ නොහැක්කේය”

යනුවෙන් සඳහන් වන අතර සියලු සුදුසුකම්ලත් පුරවැසියන් මේ රට පැවැත්වෙන ජනමත විචාරණ, ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආදී වූ කවර හෝඡන්ද විමසීමකදී වුව තම සහභාගිත්වය දැක්විය යුතුය. ඒ සඳහා සුදුසුකම් ලත් සෑම පුරවැසියකුම මැතිවරණ ක්‍රියාවලියට දායක කර ගැනීම මැතිවරණ කොමිසම් සභාවේ වගකීම ද වේ. මෙම ඡන්ද බලය හා මැතිවරණයන්ට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIV පරිච්ඡේදයේ සඳහන් වේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි, ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම, සුදුසුකම් ලැබීමේ ලිපිනයේ සාමාන්‍ය පදිංචිය දැරීම, ආණ්ඩුක්‍රමවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ සඳහන් ඡන්ද බලය අහිමිවීමට බලපාන කරුණු එකකට හෝ කිහිපයකට භාජනය නොවීම යන සුදුසුකම් සපුරා ඇති සෑම පුරවැසියෙකුටම කිසිදු භේදයකින් තොරව ඡන්ද බලය භාවිතා කිරීමේ අයිතිය ඇත.

ප්‍රජාතන්ත්‍රවාදි සමාජ ක්‍රමයක් තුළ ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගීම හෙවත් රාජ්‍ය පාලනයට ජනතාව සම්බන්ධ කර ගැනීමේ මාර්ගය මෙම සර්වජන ඡන්ද බලය භාවිත කිරීම හරහා සිදුවන අතර ශ්‍රී ලංකාවේ විදෙස්ගත මිලියන දෙක හමාරක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය භුක්ති විඳීමේ වරම් ඔවුනට අහිමිව ඇත.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධ යෝජනාව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන අතර අවධානයට සහ සංවාදයට ලක් වූ කාරණයක් බවට පත් විය. මෙය 2015 සිට මේ දක්වාම දශක එකහමාරකට ආසන්න කාලයක් මෙම යෝජනාව පිළිබඳ කතාබහ ආරම්භ වුවද තවමත් එය පවතින්නේ සංවාදාත්මක තලයේය.

මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ වාසය කරන සහ මැතිවරණ නාම ලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී ඇති මෙම ඡන්ද බලය වර්තමාන මැතිවරණ පනත් යටතේ හෝ  විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැත. නමුත් ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විදෙස්ගත තම පුරවැසියන්ට තම රටේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට ක්‍රමෝපායන් සලසා ඇත.එනිසා විදෙස්ගත ශ්‍රමිකයන්ට තම රටේ මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම වර්තමාන ලෝකයේ නව මැතිවරණ ප්‍රවණතාවක් ලෙස දැකිය හැකිය.

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයින් මැද පෙරදිග, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ඇමරිකා, යුරෝපය, කැනඩා, මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය… වැනි රටවල රැකියාව, අධ්‍යාපනය සහ සිය පවුල් සමඟ ජීවත් වන පිරිස් වශයෙන් හඳනාගත හැකිය. මෙම පිරිස අතරින් සංවර්ධිත රටවල රැකියාව කරන හෝ ස්ථිර පදිංචිව සිටින පිරිස ද්විත්ව පුරවැසියන් ලෙස තම පුරවැසිභාවය දෙරටේම පවත්වාගෙන යනු ලබයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් පිටත විදෙස් ගතව විශාල පිරිසක් සිටින බැවින් ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීමේ අයිතිය මුළුමනින්ම අපතේ යාමක් සිදුවේ. මෙම පිරිසට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කිරීම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකි. එසේම මෙය නිවැරදිව හා කාර්යක්ෂමව කළමනාකරණය ද කල යුතුය. එනිසාම මේ සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ඇත. අද වන විට මේ සම්බන්ධ කතා බහ ඉතාමත්සංවාදාත්මක තලයක පවතින අතර මේ සම්බන්ධයෙන්ආණ්ඩුවේ අවධානයට යොමුව ඇති තත්ත්වයක් දැකිය හැකි ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වරක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ,

විදෙස්ගත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවතින නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ඒවායේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එච්. එන්.එච් අභයරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

එසේම 2025 ඔක්තෝම්බර් මස 27 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වැඩසටහනකට එක් වෙමින් එහිදී අදහස් පළ කර ඇත්තේ, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. විදේශගත පුරවැසියන්ට ඡන්දය ලබාදීමට අවැසි පහසුකම් සලසා ඊට අවශ්‍ය නෛතික තත්ත්වය ඇති කිරීමට දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් පත් කර ඇති බවද සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ ඡන්ද දීමේ අයිතිය සම්බන්ධ සාකච්ඡා කිරීමේදී නූතන තාක්ෂණික ක්‍රම සම්බන්ධයෙන් අවධානයට යොමු වේ. එසේම එය කොතරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකිද යන්නද අවධානයට ලක් වේ. විශේෂයෙන්ම දුරස්ථව ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රම ලෙස  තැපැල් ඡන්දය සහ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම හඳුනාගත හැකිය. මේ අතරින් ශ්‍රී ලංකාවේ මේ වන විටත් භාවිත කෙරෙන්නේ තැපැල් ඡන්ද ක්‍රමයයි.  එම ඡන්ද අයිතිය හිමි වන්නේ රාජ්‍ය සේවකයින්ට පමණි. ශ්‍රී ලංකාවේ 90% ක්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කරන අතර ඉතිරි 10% තැපැල් ඡන්ද හිමියන් වේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින් අතර වෙනත් රටකට ගොස් සිටින පිරිසට ඒ රටේ පුරවැසිභාවය නැතිනම් මෙරට ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ඇත. එසේම ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් පසු ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන නමුත් දිවිත්ව පුරවැසිභාවය ලබාගෙන නැවතත් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාව පවතින අතර එවැනි ද්විත්ව පුරවැසියන්ටද මෙරට ඡන්ද අයිතිය හිමි වේ. තවද මෙරට පුරවැසිභාවය හැර ගිය වෙනත් රටක ස්ථිර පදිංචිව එරට පුරවැසියන් ලෙස පුරවැසිභාවය ලබාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් ද සිටි. නෛතික විධිවිධාන අනුව මෙරට පුරවැසිභාවය හැරගිය විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට හැර අනෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට ඡන්ද දායකයකු ලෙස ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමි වේ. ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු අතර නමුත් සෙසු විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානූකූලව තිබුණ ද ඒ් සඳහා නිසි ක්‍රමවේදයක් නැත.

මේ පිළිබඳ අවධාන යොමු කරන විට නූතන ලෝකය ක්‍රියාත්මක වන දුරස්ථව ඡන්දය භාවිත කිරීමේ ක්‍රම අතර නූතන ලෝකයට වඩාත් සුදුසු ක්‍රමය ලෙස අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල සාර්ථකව ක්‍රියාත්මක කරනු ඇත. නිදසුන් වශයෙන් එස්තෝනියාව නම් රාජ්‍යය 2015 වසරේ සිට මෙය භාවිත කරන ලදි. ඒවුන් ලෝකයේ ඕනෑම තැනක සිට තම ජාතික හැඳුනුම්පත හෝ විද්‍යුත් හැඳුනුම්පත භාවිත කර ඉතාම ආරක්ෂිතව ඡන්දය ප්‍රකාශ කරන අතර ඡන්දය ප්‍රකාශ කළ පසු පුද්ගලයාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබයි. 2019 වසරේ එස්තෝනියානු මැතිවරණයේ දී 44%ක් මේ හරහා ඡන්දය ප්‍රකාශ කර ඇත. 2023 වසරේදී 50%කට  වැඩි පිරිසක් එම ඡන්ද ක්‍රමය භාවිත කර ඇති බවට තොරතුරු සඳහන් වේ.

තවද ලෝකයේ බෙල්ජියම, ස්වීඩනය හා අප්‍රිකානු රටවල පිළිගනු ලබන Proxy Voting නමින් ඡන්දය භාවිතකිරිමේ ක්‍රමයක් ද පවති. මේ ක්‍රමය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජික එම්.එම් මොහොමඩ් මහතා එක් සාකච්ඡාවකදී මේ ක්‍රමය පිළිබඳව පෙන්වා දෙමින් වඩාත් යෝග්‍ය ක්‍රමය මෙය බව ද සඳහන් කර සිටියේය. එහිදී සිදුවන්නේ තමා වෙනුවෙන් ආදේශකයෙක් පත් කිරීමයි. තමාගේ ඡන්දය තමා වෙනුවෙන් වෙන කෙනෙකුට ප්‍රකාශ කිරීමට බලය දීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි, තම පරමාධිපත්‍ය අන්සතු කල නොහැකියයි සඳහන් වේ. එසේනම් මෙම වගන්තියද සංශෝධනය කිරීමක් සිදු කළ යුතු වේ. එය තවත් සංකිර්ණ ක්‍රියාවලියක් වේ.

ලෝකයේ ඇතැම් රටවල් මෙවැනි දුරස්ථව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රම භාවිත කරද්දි ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල්ද තම විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි නීතිමය ක්‍රමපායන් සකස්කර ඇත. නමුත් තාක්ෂණික වශයෙන් සෑම අංශයකින්ම දියුණු ලෝකයේ ශ්‍රී ලංකාව තවමත් ඒ පිළිබඳ සංවාද කරමින් සිටි. මෙරට ආර්ථික සංවර්ධනයට මහත් දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 7 ක පමණ විදේශ විනිමයක් ලැබේ. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසියන් නොවන  මැද පෙරදිග, ඊශ්‍රායල් දකුණු කොරියාව, යුරෝපා රටවල, ඕස්ට්‍රේලියාව.. ආදී කවර රටක සිට වුව විදෙස්ගත ශ්‍රමිකයකු එරට තුළ සිට ඔවුන් උපයන සියලු මුදල් මේ රටට එවා එම මුදල් වලින් මෙරට බදු ගෙවීම්වලින් පවා මේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙද්දීත් ඔවුන්ට ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇහිරීම සැබැවින්ම අසාධාරණය. සෑම මිනිසකුටම තමා දරණ දේශපාලන මතයක් පවතී. එවැනි දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය තුළ තමා කැමති දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය ලබාදීම වඩා වැදගත් වේ. මෙරට පවත්වන ඡන්ද විමසීම් අතර අවම වශයෙන් ජනාධිපතිවරණයට හෝ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අතරින් ද්විත්ව පුරවැසියන් නොවන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හෝ අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම කාලීනව ඔවුන්ට සිදුකරන සාධාරණයක් වනු ඇත. ඒ තුළින් මෙරට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ද ශක්තිමත් වනු ඇත.

ලෝකයේ මෙලෙස දුරස්ථව ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිත කරන ක්‍රම සංසන්දනය කරමින් ඒවායෙන්  ගත හැකි සාධනීය කාරණා සැළකිල්ලට ගෙන මැතිවරණ කොමිෂන් සභාවත් විදේශ සේවා හා විදේශ රැකියා අමාත්‍යාංශයත් මූලිකව මැදිහත් වෙමින් මේ සම්බන්ධ කඩිනම් පියවරක් සැකසීමේ වගකීම ගත යුතුය. මැතිවරණ කොමිසම් සභාවේ වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරමින් එහිදි ජාතික හැදුනුම්පත භාවිතයෙන් බාර්කෝඩ්  ක්‍රමය භාවිතය ද ප්‍රයෝජනයට ගත හැකිය. මෙවැනි ක්‍රමවේදයකින් හෝ මෙම ගැටළුවට විසඳුමක් නොසපයන්නේ නම් මෙම ම කාරණය තවත් වසර ගනණක් ඉදිරියට සංවාදයක්ම පමණක් විය හැකි ය. එය තවදුරටත් එසේ නොවන්නට පවතින ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය පැසසුමට ලක්වන කාරණයක් වනු ඇත.

නිර්මලා දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website