බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලත් තොරතුරකට අනුව, වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලද පූර්ව අනාවරණයකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.09.12 දින මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අදාල වෑන් රථය ගම්පහ උඩුගම්පොල දෙසට ගමන් ගන්නා බවට තොරතුරු තහවුරු කර ගත් පොලිස් නිලධාරීන් ජිප් රථයෙන් අදාල වෑන් රථය සූක්ෂමව හඹාගොස් ඇත. පොලිස් නිලධාරීන් තමන් පසුපස හඹා එන බව නොදත් වෑන් රථයේ රියදුරු උඩුගම්පොල මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගය අසල නවතා ඇත. එවිට පොලිස් ජිප් රථය පැමිණ එම වෑන් රථය ඉදිරියෙන් මග අහුරා නවතා ඇති අතර, පොලිස් නිලධාරීන් ජිප් රථයෙන් බැස වෑන් රථය පරීක්ෂා කිරීමට යාමේදී එහි රියදුරු මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් බරපතල ලෙස අනතුරට ලක් කරමින් වෑන් රථය ක්ෂණිකව කිහිප අවස්ථාවක් පසුපසට හා ඉදිරියට ධාවනය කර නැවත පොලිස් ජිප් රථයද හප්පා නිලධාරීන්ද අනතුරට ලක් කරමින් පලා යාමට උත්සහ කර ඇත.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ වන විට අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් ස්ථානයට කැඳවා ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














