ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ කටුකුරුන්ද ප්රදේශයේදී අද (02) අළුයම සිදුවූ දරුණු රිය අනතුරකින් එකම පවුලේ මිත්තණියක සහ ඇගේ 13 හැවිරිදි මුණුපුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. බේරුවල දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක්, ප්රතිවිරුද්ධ දිශාවෙන් එනම් කොළඹ සිට මාතර බලා ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පයාගල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් 60 හැවිරිදි කාන්තාව සහ 13 හැවිරිදි පිරිමි දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔවුන් කළුතර දකුණ ප්රදේශයේ පදිංචි මිත්තණිය සහ මුණුපුරා බවට හඳුනාගෙන ඇත. මේ අතර අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරු සහ එහි පසුපස අසුනේ ගමන් ගත් තවත් කාන්තාවක කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, පයාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














