ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුව සහ UNFPA අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (United Nations Population Fund – UNFPA) අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමකට පාර්ලිමේන්තුවේදී පසුගියදා අත්සන් තැබිණි.

අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩබලන නියෝජිත Phuntsho Wangyel මහතා අත්සන් තැබූහ. මේ අවස්ථාව සඳහා  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  ආසියා හා පැසිෆික් කලාපය සඳහා  අධ්‍යක්ෂ ආචාර්ය Aleksandar Sasha Bodiroza මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව  සිටියහ.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම, පාර්ලිමේන්තුවේ ධාරිතාව වර්ධනය කිරීම සහ ජනගහන හා සමාජ සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම සඳහා දෙපාර්ශ්වය අතර පවතින සහයෝගීතාව නව මට්ටමකට රැගෙන යාම අපේක්ෂා කෙරේ.

ඒ අනුව, ජනගහන ප්‍රතිරෝධීතාව (Demographic Resilience), ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය සහ අහිතකර සමාජ භාවිතයන් සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ ව්‍යවස්ථාදායක තීරණ ගැනීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම, නවතම ජන සංගණන දත්ත සහ ජනගහන පර්යේෂණ මත පදනම් වූ විශ්ලේෂණාත්මක තොරතුරු පාර්ලිමේන්තුව වෙත ලබා දීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් යටතේ දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීමට නියමිතය.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් දැනුම හුවමාරු වැඩසටහන් සහ ඉහළ මට්ටමේ සංවාද සංවිධානය කිරීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සාක්ෂි මත පදනම් වූ උපදේශන සහ සාරාංශ වාර්තා ලබා දීමට, පුහුණු වැඩසටහන්, වැඩමුළු සහ අත්දැකීම් හුවමාරු සැසි පැවැත්වීමට මෙම අවබෝධතා ගිවිසුම මගින් අවස්ථාව සැලසෙයි.

මීට අමතරව, ජනගහන ගතිකත්වය, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම් සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය රාමු, අන්තර්  රාජ්‍ය ක්‍රියාවලීන් සහ ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇති ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එකඟ වී ඇත.
අනතුරුව,  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නියෝජිත පිරිස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහභාගි  වූහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායකවරයා,  රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජනගහන ගැටලු පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍ය බව සඳහන් කළේය. තරුණ පරපුරේ වෘත්තීය අභිලාෂයන් සහ පවුල් ජීවිතය අතර පවතින අසමතුලිතතාව, අඩු උපත් අනුපාතය සහ සමාජ සත්කාරක සේවාවල පවතින අසමතුලිතතා, ප්‍රතිපත්තිමය මට්ටමින් විසඳිය යුතු කරුණු ලෙස ඔහු අවධාරණය කළේය. එමෙන්ම, දීර්ඝකාලීන දැක්මක් යටතේ ජනගහන ගතිකත්වය සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තිමය මග පෙන්වීම අත්‍යවශ්‍ය බව ද ඔහු පෙන්වා දුන්නේය.

වැඩකරන කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ දරුවන් රැකබලා ගැනීම සඳහා ශක්තිමත් සමාජ ප්‍රතිපත්තිවල වැදගත්කම, ජනගහන සංක්‍රාන්තිය කළමනාකරණය කිරීම, පවුල් සහ වෘත්තීය ජීවිතය අතර සමතුලිතතාව ඇති කිරීම සහ අනාගත පරපුරේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් රජය, පාර්ලිමේන්තුව සහ අනෙකුත් පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website