දැරියක රවටා යතුරු පැදියක නංවාගෙන ගිය සැකකරු අත්අඩංගුවට

දෙනියාය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් කොස්තාපල් 82058 චතුරංග නිලධාරියා හා පොලිස් කොස්තාපල් 99375 ගිම්හාන නිලධාරියා පසුගිය 13 වන දින සවස දෙනියාය නගරය ආසන්නයේ රථ වාහන හසුරවමින් සිටින අතරතුර ආරක්ෂක හිස්වැස්මක් හිස පැළඳ නැති තරුණියක් යතුරුපැදියක නංවාගෙන සැක සහිත ලෙස පැමිණෙන යතුරුපැදියක් දුර තියා නිරීක්ෂණය කර ඇත.

මඳ දුරකදී යතුරුපැදිය නිලධාරීන් දෙසට පැමිණීම මන්දගාමී වී ඇති අතර තරුණිය එක්වරම යතුරුපැදියෙන් පැන ත්‍රී රෝද රථයක් අසල සැඟවෙන අයුරු නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර නිලධාරීන් යතුරුපැදිකරු නවතාගෙන ප්‍රශ්න කිරීමට හා ආරක්ෂක හිස්වැස්මක් නොමැති පසුපැදිකාරියක් නංවාගෙන පැමිණීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැන ගිය දැරිය පොලිස් නිලධාරීන් දෙදෙනා අසලට කැඳවාගෙන පැමිණි පුද්ගලයෙකු මෙම යතුරුපැදිකරු විසින් දැරිය පැහැරගෙන යමින් සිට ඇති බවත් දැරිය ඒ ලෙස ප්‍රකාශ කළ බවත් පවසා ඇත.

නිලධාරීන් දෙදෙනා වහාම සැකකාර යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන දැරිය දෙනියාය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සිදුකළ විමර්ශනයේදී සැකකරු දැරිය යතුරුපැදියට නංවාගැනීමට යෙදූ උපක්‍රමයත්, යතුරුපැදියට නංවාගැනීමට හේතුවත් අනාවරණය වී තිබේ.

තමන් පියාගේ මිතුරෙකු බවත් පියාට අයත් ලිපිගොනු කිහිපයක් පිටපත් කර දෙන්නම්, ගෙන ගොස් පියාට භාරදෙන මෙන් පවසා දැරිය රැවටීමට ලක්කර යතුරුපැදියට නංවාගැනීම සැකකරු යෙදූ උපක්‍රමයයි.

දැරියගේ ගෙල තිබූ රන් මාලය කොල්ලකෑම සඳහා දැරිය පාළු මාර්ගයකට රැගෙන යාම, සැකකරු දැරිය මෙලෙස යතුරුපැදියට නංවාගැනීමට හේතුවයි.

දෙනියාය පොලිස් ස්ථානය විසින් සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2024 වසරේදී බඩල්කුඹුර ප්‍රදේශයේදී මෙවැනිම රන්මාල කොල්ලකෑමක් සිදුකර ඇති බවත්, අම්බලන්ගොඩ මහා අධිකරණයේ සැකකරුට නඩු කටයුත්තක් තිබෙන බවත්, සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස නම්කර ඇති බවත් හෙලිදරව් වී තිබේ.

වයස අවුරුදු 43 ක් වන කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට ගත් සැකකරු 2026.06.14 දින අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර අධිකරණය වසින් සැකකරු 2026.06.24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පොලිස් කොස්තාපල් 82058 චතුරංග, පොලිස් කොස්තාපල් 99735 ගිම්හාන වැනි නිලධාරීන් මහා මාර්ගයේ මෙන්ම පොදු ස්ථාන තුළ ඔබ අතරම ගැවසෙමින් විමසිලිමත්ව රාජකාරිය ඉටුකිරීම හේතුවෙන් මෙවැනි තවත් අපරාධ බොහොමයක් වැලැක්වුනු අවස්ථා මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අවස්ථා තවත් ඇති බව මෙමගින් සිහිපත්කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website