බදු ගෙවීම පැහැර හැරීම හෝ අතපසු කිරීම සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ප්රජාතන්ත්රවාදයට එල්ල කරන මරු පහරක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
බදු ගෙවිය යුතු සියලු දෙනා බදු ගෙවිය යුතු බවත් බදු ගෙවීම මග හැරීම සිදු නොකළ යුතු බවත් අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා බදු ගෙවීමට යටත් සියලු දෙනා අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බව ද අවධාරණය කළේය.
බදු පරිපාලනය සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17) පැවැති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම තුළ මේ මොහොත වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව ද ඔහු පැවසුවේය.
අමතක වීම, රෝගී වීමක් හෝ විදේශගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධි ක්‍රියාවක් ලෙස සලකා බදු පරිපාලනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, මෙය මූලික හා මානව අයිතිවාසිකම් කඩකිරීමක් බවත් සිරගත කිරීම යන තර්ජනය හරහා බදු එකතු කිරීම ප්රජාතන්ත්ර විරෝධි බවත් අවධාරණය කළේය.
එමෙන්ම මෙම ක්‍රියාව තුළින් රජය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරන බවත් සංවරණ හා තුලන සංකල්පය සහ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයේ බලය බෙදීම පවා මෙමගින් උල්ලංඝනය වන බවත් පෙන්වා දුන්නේය.















