එක්සත් රාජධානියේ වෙළඳපල වෙත අපනයනය කිරීම සඳහා කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් අපනයන අත්පොත් නිකුත් කර ඇත.
SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව මෙම විෂය ක්ෂේත්රයන්ට අදාළ අපනයන අත්පොත් ද්විත්වය එළිදක්වන ලදී. මෙම අත්පොත් මගින් ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අපනයන සූදානම ශක්තිමත් කර එක්සත් රාජධානියේ වෙළඳපලට වඩා හොඳින් ප්‍රවේශ වීමට සහාය වීම අපේක්ෂා කෙරේ.
ඇඟලුම් සහ රෙදිපිළි (කාන්තා උපාංග, පාවහන් සහ අත්කම් නිර්මාණ ඇතුළුව) මෙන්ම සකස් කළ කෘෂිකාර්මික ආහාර සහ කුළුබඩු යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම සම්පත් මගින් එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) පිළිබඳව මග පෙන්වීම් ලබා දෙයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට අපනයනය කරන නිෂ්පාදනවලින් 92%කට පමණ තීරුබදු රහිත ප්‍රවේශයක් සහ අනෙකුත් වෙළඳ ප්රතිලාභ හිමිවේ. එක්සත් රාජධානියේ රජය විසින් අරමුදල් සපයනු ලබන මෙම මුලපිරීම SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහ කාන්තා නායකත්වයෙන් යුත් අපනයන නැඹුරු ව්‍යාපාරවල තරඟකාරිත්වය, ධාරිතාව සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
මෙම සමාරම්භක අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත (UK’s Trade Envoy) ලෝඩ් හැන්ට් (Lord Hannett of Everton), ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් (H.E. Andrew Patrick) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ යන මහත්වරුන් සමඟ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් සහ ව්‍යවසායකයින් සහභාගී වූහ. එහිදී සාකච්ඡා වූයේ අපනයන කේන්ද්‍ර කරගත් කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අපනයන අවස්ථා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල වෙත ප්‍රවේශ වීමේදී ඇතිවන අභියෝග පිළිබඳවයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ රජය, ITC සහ EDB අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය අගය කළේය. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු ලෙස පවතින බවත්, එක්සත් රාජධානියේ DCTS යෝජනා ක්‍රමය යටතේ පවතින අවස්ථා පිළිබඳවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, ජාත්‍යන්තර වෙළඳපලට වැඩි වශයෙන් දායක වීමට දේශීය ව්‍යවසායන්හි තරඟකාරිත්වය, තිරසාරභාවය සහ අපනයන සූදානම ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බව ඔහු නැවතත් තහවුරු කළේය.
“මෙම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන කාන්තා ව්‍යවසායිකාවන්ට මම උණුසුම් සුබ පැතුම් එක් කරන අතර, මෙම වටිනා අවස්ථාව නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ රජයට සහ SheTrades මුලපිරීමට මගේ අවංක කෘතඥතාව පළ කරමි,” යැයි අමාත්‍යවරයා පැවසීය. එක්සත් රාජධානියේ DCTS ක්‍රමය වරණීය ප්‍රවේශ විධිවිධාන යටතේ එක්සත් රාජධානියේ වෙළඳපලට ඇතුළු වීමට සහ එහි වර්ධනය වීමට ශ්‍රී ලාංකික ව්‍යවසායන්ට ලැබුණු රන් අවස්ථාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
උත්සවය අමතමින් ලෝඩ් හැන්ට් මහතා කියා සිටියේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළඳපල අවස්ථාවන්ගෙන් දිගින් දිගටම ප්රතිලාභ ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙවැනි වෙළඳ සහායක මුලපිරීම් වැදගත් වන බවයි. අපනයන අත්පොත් දේශීය භාෂාවලට පරිවර්තනය කිරීම මගින් වටිනා වෙළඳපල තොරතුරු ශ්‍රී ලංකාව පුරා සිටින ව්‍යවසායකයින්ට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි වන බව ඔහු පෙන්වා දුන්නේය. එමගින් පුළුල් පරාසයක ව්‍යාපාරවලට එක්සත් රාජධානියේ වෙළඳපල අවශ්‍යතා සහ අවස්ථා පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. තීරුබදු රහිත ප්රවේශයත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට එක්සත් රාජධානියේ වෙළඳපල හරහා සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට විශාල ඉඩකඩක් පවතින බවද ඔහු පැවසීය.
අලුතින් නිකුත් කරන ලද අත්පොත්, එක්සත් රාජධානියේ අපනයන වෙළඳපල අවශ්‍යතා, ක්‍රියා පටිපාටි, නියාමන අනුකූලතාවය සහ වෙළඳපල අපේක්ෂාවන් අවබෝධ කර ගැනීමට ව්‍යවසායකයින්ට ප්‍රායෝගික මාර්ගෝපදේශ ලෙස සේවය කරයි. මෙම තොරතුරු සිංහල සහ දෙමළ භාෂාවලින් ලබා දීම මගින් දිවයින පුරා සිටින අපනයන නැඹුරු ව්‍යවසායකයින් වෙත වඩාත් හොඳින් ළඟා වීමට හැකි වනු ඇත. මෙම අත්පොත් EDB SheTrades ප්‍රකාශන සහ සම්පත් ද්වාරය (https://www.srilankabusiness.com/exporters/shetrades/publications-and-resources.html) හරහා දැන් බාගත හැකිය.
















