SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහි දිවයින පුරා විශේෂ වැටලීම් තවදුරටත් – මාස තුනක ප්‍රගතිය මෙන්න

යතුරුපැදි පදවන්නන්ගේ සහ පසුපස ගමන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 ඔක්තෝබර් 06 දින සිට දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

නවතම වැටලීම්වල ප්‍රගතිය

මෙම විශේෂ මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක 21ක සාර්ථක වැටලීම් 84ක් සිදුකර ඇති අතර, SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති හෙල්මට් අවම වශයෙන් 327ක් නඩු භාණ්ඩ ලෙස අධිකාරිය භාරයට ගෙන ඇත.

වැටලීම්වලදී විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කළ SLS ලාංඡනය නොමැති හෙල්මට් දිස්ත්‍රික්ක රැසකින් හඳුනාගෙන තිබේ.

විශේෂයෙන්ම එකම හෝ සමාන වෙළෙඳ නාම සහිත හෙල්මට් දිස්ත්‍රික්ක කිහිපයකින් නැවත නැවතත් හමුවීම හේතුවෙන්, සිල්ලර වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පමණක් සීමා නොවී, සැපයුම්කරු, බෙදාහරින්නා, ආනයනකරු සහ නිෂ්පාදකයා දක්වා සැපයුම් ජාලය ඔස්සේ විමර්ශන පුළුල් කිරීමට පියවර ගනිමින් පවතී.

SLS ස්ටිකර් සහ ළමා හෙල්මට් පිළිබඳවත් විමර්ශන

ගම්පහ, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලින් SLS ස්ටිකර් භාවිතය සම්බන්ධයෙන් කරුණු වාර්තා වී ඇති අතර, ඒ පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

එමෙන්ම, ළමා සහ කුඩා ප්‍රමාණයේ හෙල්මට් අතරද SLS ලාංඡනය නොමැති නිෂ්පාදන හඳුනාගෙන ඇත. එවැනි හෙල්මට් යතුරුපැදි හෝ වෙනත් වාහන භාවිතා කරන්නන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් ලෙස අලෙවි කරන්නේ නම්, ඒවාද SLS 517 ප්‍රමිතියට අදාළව පරීක්ෂා කෙරේ.

තවද, නිසි බිල්පත් නොමැතිව හෝ නිෂ්පාදකයා සහ සැපයුම්කරු හඳුනාගත නොහැකි ආකාරයෙන් හෙල්මට් අලෙවි කරන අවස්ථාද අනාවරණය වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අදාළ නීති යටතේ පියවර ගනු ලැබේ.

2026 වසරේ විශේෂ හෙල්මට් වැටලීම්වල සමස්ත ප්‍රගතිය

2026 ජූලි 27 දින ක්‍රියාත්මක කළ දිවයින පුරා විශේෂ හෙල්මට් වැටලීම් වැඩසටහනේදී සාර්ථක වැටලීම් 98ක් සිදුකර, SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් අධිකාරිය භාරයට ගෙන නීතිමය පියවර ආරම්භ කර ඇත.

ඒ අනුව ජූලි සහ ඔක්තෝබර් මාසවල ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් දෙකේ සමස්ත ප්‍රගතිය මෙසේය.

  • සාර්ථක වැටලීම් – 182ක්
  • අධිකාරිය භාරයට ගත් හෙල්මට් – 758කට අධික ප්‍රමාණයක්

මෙම සංඛ්‍යා විශේෂ වැටලීම් වැඩසටහන් දෙකේදී පමණක් වෙළෙඳසැල්වලින් අධිකාරිය භාරයට ගත් හෙල්මට්වලට අදාළ වේ.

නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට විශේෂ අවධාරණයක්!

වලංගු SLS ප්‍රමිති සහතික බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය නොකරන ලෙස සියලුම නිෂ්පාදකයන්ට අවධාරණය කරනු ලැබේ.

ආනයනකරුවන්, බෙදාහරින්නන්, තොග හා සිල්ලර වෙළෙඳුන්, ජංගම වෙළෙඳුන්, මාර්ගගත වෙළෙඳුන් සහ යතුරුපැදි අලෙවිසැල් ඇතුළු සියලුම වෙළෙඳ පාර්ශ්වයන් විසින් SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම, විකිණීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීමෙන් වැළකිය යුතුය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෙල්මට් වෙළෙඳපොළ සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණ හා විමර්ශන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, පූර්ව දැනුම්දීමකින් තොරව විශේෂ වැටලීම් සිදු කිරීමටද පියවර ගනු ඇත.

පාරිභෝගික ඔබට වැදගත් පණිවිඩයක්!

හෙල්මට් එකක් කියන්නේ පොලිස් පරීක්ෂාවකින් බේරෙන්න පමණක් පළඳින දෙයක් නොවෙයි.

එය අනතුරකදී ඔබේ හිසට සිදුවිය හැකි බරපතළ හානි අවම කරමින් ඔබේ ජීවිතය ආරක්ෂා කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරණයකි.

අඩු මිල පමණක් සලකා SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැති හෙල්මට් මිලදී නොගන්න.

හෙල්මට් එකක් මිලදී ගැනීමට පෙර SLS ප්‍රමිති සහතික ලාංඡනය පරීක්ෂා කරන්න. එහි විශ්වසනීයත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. නිසි බිල්පතක් ලබාගෙන සුරක්ෂිතව තබාගන්න.

SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන, බෙදාහරින හෝ අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමිතිය තෝරාගන්න. ඔබේ ජීවිතය මිල කළ නොහැකියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website