මෙරට වී වගාවේ ඵලදායිතාව නව මානයකට ඔසවා තබමින් ‘සුපිරි යාය’ වැඩසටහන ඇරඹේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ‘සුපිරි වී යාය‘ වැඩසටහන, කෘෂිකර්මම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (26) හිඟුරක්ගොඩදී ආරම්භ විය.

මෙරට වී වගාවේ ඵලදායිතාව නව මානයකට ඔසවා තබමින්, කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ සමාගම් සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සක්‍රීය සහයෝගීතාවයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තෝරාගත් ප්‍රධාන වී යායවල් 11ක් මුල් කරගෙන ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ප්‍රවේශය තුළින් නවීන කෘෂි තාක්ෂණය හා ක්ෂේත්‍ර පර්යේෂණ සෘජුවම ගොවිබිමට ගෙන යාමට නියමිතය.

වැඩසටහනේ ප්‍රධාන අංග සහ තාක්ෂණික ප්‍රවේශයන් පහත දැක්වේ.

ඉහළ අස්වැන්නක් සඳහා විද්‍යාත්මක පර්යේෂණ: හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10කට (10 MT/ha) වැඩි ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්, නව පරපුරේ පොහොර (Next-generation fertilizers) සහ රසායනික යෙදවුම් භාවිත කරමින් පෞද්ගලික අංශයේ සහයෝගයෙන් ක්ෂේත්‍ර අත්හදා බැලීම් සිදු කෙරේ.

පාංශු සෞඛ්‍යය හා කාබනික පෝෂණය: පසේ සාරවත්භාවය හා පාංශු ජෛව විවිධත්වය සුරකිමින්, කුකුළු පොහොර (Poultry manure) වැනි කාබනික ද්‍රව්‍ය ඒකාබද්ධ පෝෂණ කළමනාකරණයක් (INM) යටතේ භාවිත කිරීමට විශේෂ අවධානය යොමු කෙරේ.

නවීන කෘෂි තාක්ෂණය හා ඩ්‍රෝන යෙදවුම්: කෘෂිකාර්මික යෙදවුම් වඩාත් නිවැරදිව හා කාර්යක්ෂමව යෙදීම සඳහා නවීන ඩ්‍රෝන (UAV / Drone) තාක්ෂණය වැනි නව්‍ය ක්‍රමවේද ක්ෂේත්‍රයේදී ප්‍රදර්ශනය හා භාවිත කිරීම සිදු කෙරේ.

ආර්ථික ශක්‍යතාව හා නිෂ්පාදන පිරිවැය: ගොවියාගේ ශුද්ධ ආදායම ඉහළ නැංවීමේ අරමුණින්, ඒකක නිෂ්පාදන පිරිවැය (Cost of production) විද්‍යාත්මකව අධ්‍යයනය කරමින් පිරිවැය-ඵලදායිතා විශ්ලේෂණ සිදු කෙරේ.

රාජ්‍ය, පෞද්ගලික සහ ශාස්ත්‍රීය ශක්තිය එක්තැන් වූ මෙම ‘සුපිරි වී යාය’ වැඩසටහන, මෙරට සහල් නිෂ්පාදනය ස්වයංපෝෂිත කරමින් තිරසාර කෘෂිකර්මාන්තයක් ගොඩනැංවීමෙහිලා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තබන ලද තවත් තීරණාත්මක පියවරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website