යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර කාර්මික හා ආර්ථික සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සහ මෙරටට නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම අරමුණු කරගනිමින්, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 15 වැනිදා පැවැත්විණි.
යුරෝපා කොමිසමේ ජාත්යන්තර හවුල්කාරීත්ව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG INTPA) ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් (Pēteris Ustubs) මහතා ඇතුළු යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
යුරෝපා සංගමයේ Global Gateway වැඩසටහන යනු ඩිජිටල් තාක්ෂණය, දේශගුණික හා බලශක්ති පරිවර්තනය, ප්රවාහන යටිතල පහසුකම්, සෞඛ්යය, අධ්යාපනය සහ පර්යේෂණ ඇතුළු ප්රධාන ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් යුරෝ බිලියන 300කට ආසන්න ගෝලීය ආයෝජන සක්රීය කිරීමට අපේක්ෂා කරන ආයෝජන ක්රමෝපායකි.
මෙම ක්රමෝපාය යටතේ ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්යවසායකත්ව ක්ෂේත්රයන්ට ලබාගත හැකි ප්රතිලාභ පිළිබඳව සාකච්ඡා කළ නියෝජ්ය අමාත්යවරයා, මෙරට සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඒ හරහා ජාත්යන්තර අපනයන වෙළෙඳපොළට පිවිසීමට දේශීය ව්යවසායකයන්ට ඇති හැකියාව පුළුල් කළ හැකි බව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම, නව ව්යවසායකයන්ගේ මූලික අදහස් සාර්ථක ව්යාපාර බවට පරිවර්තනය කිරීමට අවශ්ය මඟපෙන්වීම, සම්පත් සහ සහාය ලබාදෙන Startup Incubators හෙවත් නව ව්යවසායකත්ව පුර්ව-වර්ධන මධ්යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්යතාව ද නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේය. ඒ සඳහා ප්රාග්ධන ආයෝජන සහ තාක්ෂණික සහාය ලබාදෙමින් දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සමඟ හවුල්කාරීත්ව ගොඩනඟා ගැනීමටත්, එවැනි මධ්යස්ථාන ස්ථාපිත කිරීමටත් යුරෝපා සංගමයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මෙවැනි මැදිහත්වීම් කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද ශ්රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාව නැගෙනහිර වෙළෙඳපොළ වෙත පිවිසීමේ දොරටුවක් ලෙස සැලකීමට යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කළ නියෝජ්ය අමාත්යවරයා, ජාත්යන්තර මුහුදු වෙළෙඳ මාර්ගවලට සමීප ඉන්දියානු සාගරයේ ශ්රී ලංකාවට හිමි උපායමාර්ගික පිහිටීම, පුහුණු හා දක්ෂ ශ්රම බලකාය, පාලන කටයුතුවල විනිවිදභාවය, යහපත් ජීවන පරිසරය සහ සාමකාමී දේශපාලන සංස්කෘතිය වැනි සාධක මෙරට ආයෝජන ගමනාන්තයක් ලෙස පවතින වාසි ලෙස පෙන්වා දුන්නේය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (IMF-EFF) යටතේ රජය ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා යුරෝපා සංගම් නියෝජිතයා දැනුවත් කළේය.
ශ්රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව කළ පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිය පළ කළ පීටරිස් උස්ටබ්ස් මහතා, ජාත්යන්තර මූල්ය අරමුදලේ පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම පිළිගත් අතර, එමඟින් යුරෝපා සංගමයේ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්රී ලංකාව නිවැරදි දිශාවට ගමන් කරන බවට ජාත්යන්තරයට පණිවිඩයක් ලැබෙන බව සඳහන් කළේය.
දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේ විනිවිදභාවය තහවුරු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
රටේ ව්යාපාරික හා කාර්මික පද්ධති නවීකරණය කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී විනිවිදභාවය තහවුරු කිරීම සඳහා රජය කැපවී සිටින බව නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා මෙහිදී ප්රකාශ කළේය. එමෙන්ම, දේශීය ව්යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම ඇතුළු ක්ෂේත්රවලදී යුරෝපා සංගමය අඛණ්ඩව ලබාදෙන රාජ්යතාන්ත්රික සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳව ද සිය කෘතඥතාව පළ කළේය.
කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා (Galia Agiševa) මහත්මිය සහ එම කාර්යාලයේ සහයෝගීතා ප්රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් (Virginie Lafleur-Tighe) මහත්මිය ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
















