
මේ අමාත්‍යංශය තුළ බොහෝ අකටයුතුකම් සිදුවෙලා තිබෙන බව පැහැදිලිව පේනවා. අපි දැනට මේ සම්බන්ධ තොරතුරු රැස් කරමින් සිටිනවා. මම පුද්ගලිකව ඇතැම් නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කරනවා. ඒ අනුව ඉදිරියේ දී විදිමත් ආකාරයට විමර්ශන ආරම්භ කරනවා, වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙනවා.
- ජාතික ජන බලවේගය රජයේ නිවාස සම්බන්ධ ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ජාතික ජන බලවේගය රජයේ නිවාස සම්බන්ධ ප්‍රතිපත්තිය ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නම් අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ‘සුවපහසු නිවසක් – සනීපාරක්ෂක ජීවිතයක්’ යන තේමාව යටතේ සඳහන් වෙනවා. එය සෑම පුද්ගලයෙකුටම සෞඛ්යාරක්ෂිත නිවසක්, ප්රශස්ත ඉඩම් කළමනාකරණය සහ සාකල්‍ය නිවාස සංකීර්ණ යන මූලධර්ම තුන මත පදනම් වන අතර මේ මූලධර්ම තුන නාගරික නිවාස, ග්‍රාමීය නිවාස සහ වතු නිවාස යන ක්‍රියාමාර්ග තුන හරහා ක්‍රියාත්ක කිරීමට නියමිතයි.
නාගරික නිවාස හා සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග අතර, තරුණ විවාහක පිරිස් සඳහා නව නිවසක් මිලදී ගැනීමට හෝ නිවසක් ඉඳිකර ගැනීමට මූල්‍ය පහසුකම්, නාගරික ප්‍රදේශවල මහල් නිවාස ඉඳිකිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් රජයෙන් ලබාදීම, නාගරික මහල් නිවාස ව්‍යාපෘති සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ආයෝජන දිරි ගැන්වීම, රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා ස්ථාන සමීපයේ නිල නිවාස ලබාදීමේ වැඩසටහන්, කොළඹ නගරයේ මුඩුක්කු හා පැල්පත් නිවාස වල ජීවත් වන ජනතාවට රාජ්‍ය මැදිහත් වීමෙන් සුදුසු නිවාස ලබාදීම, නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල, සෞඛ්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන, උද්‍යාන ආදී පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවාස ව්‍යාපෘති තිබෙනවා.
ග්‍රාමීය නිවාස වැඩපිළිවෙළ, නිවාස ඉඳි කිරීම සඳහා වන ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඉඩම් පනත සංශෝධනය කිරීම, පදිංචි ප්‍රදේශ වෙත ප්‍රවේශ මාර්ග පහසුනම් පුළුල් කිරීම සහ නිවාස ඉඳිකිරීම සඳහා නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතුළත් වෙනවා.
වතු නිවාස සම්බන්ධ ක්‍රියාමාර්ග අතර, කඳුකර ප්‍රජාවගේ නිවාස සහ ජලය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මූල්‍ය හා යටිතල පහසුකම් ලබදීම, කඳුකර ප්‍රජාවට ස්ථිර නිවසක් තනා ගැනීම සඳහා ඉඩම් ලබාදීම සහ වතු ආශ්රිත ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීම අන්තර්ගතයි.
- 2026 අයවැය යෝජනාවල ඔබගේ නිවාස, ඉඳිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට ලබාදී ඇති ප්‍රතිපාදන පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකි ද ?, අලුතින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති මොනවාද ?

2026 අයවැය ලේඛනයේ ‘සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත නිවසක්’ යන තේමාව යටතේ අදාළ ප්‍රතිපාදන සලසා තිබෙනවා. නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින් අලුත්ම ප්රවේශයකට අනුව නිවාස සංවර්ධන වැඩසටහනක් 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. එම වැඩසටහන යටතේ දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000ක් මධ්‍යකාලීනව ඉදි කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා 2026 වසරේ නිවාස 10,000ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස ඉදිකිරිම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන්කර තිබෙනවා.
චීන රජයේ ආධාර යටතේ මොරටුව, පෑළියගොඩ, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව යන ස්ථානවල නිවාස 1,996ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,500ක් දැනටමත් වෙන් කර තිබෙනවා. එම නිවාස අතුරින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා ද නිවාස ලබා දීමට කටයුතු කරනවා.
රජය විසින් ඉදිකරන ලද පැරණි මහල් නිවාස සංකීර්ණවල තත්ත්වය ඉතා කණගාටුදායක වන අතර ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,180ක් වෙන් කර තිබෙනවා. එසේම කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා බාධාවක්ව පවතින අනවසර පදිංචි කරුවන් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 840ක් වෙන් කර තිබෙනවා.
- වතුකරයේ ජනතාව, නැතහොත් මලයගම් ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමට කර ඇති යෝජනා මොනවාද ?
ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2000ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4290ක් වෙන් කර තිබෙනවා. තව ද ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1305ක් වෙන් කර තිබෙනවා.
එසේම නායයාම හා අනෙකුත් පාරිසරික හේතු මත අවදානම් ප්‍රදේශවල ජීවත්වෙන ග්‍රාමීය හා වතු ආශ්රිත පවුල් ඒකක 9000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එම පවුල් ඒකක සඳහා ඉදිරි වසර තුන තුළ ආරක්ෂිත නිවාස ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වසරේ පවුල් 1200ක් සඳහා නිවාස ඉදිකිරීමට දැනට වෙන්කොට තිබෙන මිලියන 1000ක මුදලට අමතරව අතිරේක රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. එසේම උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3850ට ප්රතිපාදනය රුපියල් මිලියන 5000ක් දක්වා වැඩි කර තිබෙනවා.
2025 අයවැය මඟින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දෙමින් ළමා රැඳවුම් නිවාසවල හැදී වැඩුණු තරුණ තරුණියන්ට ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් සාදා ගැනීමට ප්‍රදානයක් ලබා දීමෙන් ඔවුන්ගේ ජිවිත නැවත ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් අප නව ගමනක් ආරම්භ කරනු ලැබුවා. මෙම මුලපිරීම තවත් ශක්තිමත් කරමින් තම ජිවිතයේ ඕනෑම අවධියක ළමා රැඳවුම් නිවාසවල ජිවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02ක මුල්‍ය ප්රතිපාදනයක් ලබා දීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.
- රාජ්‍ය සේවකයින්ට නිවාස සම්බන්ධ යම්කිසි සහනයක් ලබාදී තිබෙනවා ද ?
ඔව්, රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4ක පොලී සහනයක් ද රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් ලබාදී තිබෙනවා.
- ඔබේ අමාත්‍යාංශයට ජල සම්පාදන විෂයත් අයත් වෙනවා. 2026 අයවැයෙන් ජල සම්පාදන විෂයට අදාළ ලබාදී තිබෙන ප්‍රතිපාදන මොනවාද ?, අලුතින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් මොනවාද ?

පානීය ජල සැපයුමෙන් මේ වනවිට සපුරා ඇත්තේ අවශ්‍යතාවයෙන් සියයට 62ක ප්‍රමාණයක් පමණයි. පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට මාර්ගයන් නොමැති වීම ජනතාව මුහුණ දෙන ප්‍රධන ගැටලුවක් බවට පත්ව තිබෙනවා. නව ජල සැපයුම් ආරම්භ කිරීමට හා දැනට ආරම්භ කර තබෙන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරනවා. ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර, යාපනය, කිලිනොච්චිය හා කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ආවරණය කරමින් පානීය ජලසම්පාදන ව්‍යාපෘති මෙන්ම ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 85,700ක් වෙන් කර තිබෙනවා. තව ද පානීය ජල සැපයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පෞද්ගලික අංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පානීය ජල ඉල්ලුම සපුරාලීමට අඹතලේ නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීමටත්, කොලොන්නාව සහ නුගේගොඩ-ජුබිලි කණුව යන ප්‍රදේශ ආවරණය කෙරෙන නල ජල පද්ධතිය යාවත්කාලීන කර නව ජල සැපයුම් ලබාදීමටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම හා නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කොටගත් කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා දායක වන නව ජල ව්‍යාපෘතියක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2026 අයවැයෙන් වෙන් කර තිබෙනවා.
හම්බන්තොට සංවර්ධනය සඳහා 2040 වන විට දෛනික ජල අවශ්‍යතාව ඝන මීටර් 300,000 පමණ වන බව ඇස්තමේන්තු ගත කර තිබෙනවා. දැනට මෙම ප්‍රදේශයේ දෛනික ජල සැපයුම ඝන මීටර් 90,000ක් පමණ වන අතර එම ඉල්ලුම ලුණුගම්වෙහෙර, වළවේ ගඟ, කිරිඳි ඔය, කච්චිගල් ආර, කිරම ඔය, ඌරු බොක්ක ඔය ආදී ජල මූලාශ්‍ර හරහා සපයනු ලබනවා. දැනට සිදු කර ඇති මූලික අධ්‍යයනයන්ට අනුව මෙම ජල මූලාශ්‍ර ආශ්‍රිතව යම් ආයෝජනයක් සිදු කර සංවර්ධනය කිරීම තුළින් දිනකට අමතර ජලය ඝන මීටර් 100,000ක් පමණ කඩිනමින් ලබා ගත හැකි අතර එය ඉදිරියේ දී ඇති වන ජල ඉල්ලුමට පිටිවහලක් වෙනවා. එබැවින් මේ සම්බන්ධයෙන් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර සංවර්ධන අවශ්‍යතා කඩිනමින් හඳුනා ගෙන ඒවා ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.
- නිවාස අහිමි ජනතාවට නිවාස ලබාදීම වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා ජාතික තලයේ දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එවැනි තත්ත්වයක් තිබියදෘත් ලංකාවේ නිවාස අහිමි හෝ වාසයට සුදුසු නිවසක් නැතිකම මෙතරම් ප්‍රබල ගැටලුවක් වුණේ කොහොමද ?
නිවසක් නෑ කියන්නේ එක්කෝ ඉඩමක් නෑ, එහෙම නැතිනම් අඩු අදායම්ලාභියෙක් කියන එකනේ. සරලව කිව්වොත් දුප්පත්. නිවසක් හදා ගන්න නොහැකි දුප්පත් ජනතාව දේශපාලනිකව භාවිතා කළ නිසයි දශක ගණනාවක් පුරා නිවාස ඉඳිකිරීමේ වැඩසටහන් විශාල ගණනක් ක්‍රියාත්මක වුණත් අදත් ඒ ගැටලුව නොවිසඳී තිබෙන්නේ. බලයට එන්නයි, බලය පවත්වා ගෙන යන්නයි මේ ජනතාව පාවිච්චි කළා. පසුගිය දශක කිහිපය පුරා නිවාස අමාත්‍යාංශය පාවිච්චි කළේ ඒකට. මේ දේශපාලන අරමුණ, න්‍යාය පත්‍රය වෙනුවෙන් විවිධ තේමාවන් යටතේ නිවාස ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අවසානයේ වුණේ මහජන මුදල් සහ සම්පත්, නිවසක් ඉඳිකර ගැනීමට වත්කමක් නොමැති ජනතාව අවභාවිතා වීම පමණයි. අපේ අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන පසුගිය කාලය පුරා කළ විවිධ වැඩසටහන් දිහා බලන විට ඒවා ගඟට කැපූ ඉණි වාගේ නිෂ්ඵල වෙල තිබෙනවා. අපිට රජයක් ලෙස මේ ගමන සහ වැඩපිළිවෙළ තමයි නිවැරදි කිරීමට සිදුවෙලා තියෙන්නේ.
- ඒ කියන්නේ වත්මන් රජය යටතේ පෙර පැවති වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා කියන එක ද ?

අපි රජයක් ලෙස තව දුරටත්, ඉඩමක් නෑ, ආදායමක් නෑ, ඒ නිසා ගෙයක් හදා ගන්න බෑ කියන කතාව දේශපාලන වශයෙන් අවභාවිතා කිරීමට සූදානම් නැහැ. ඇත්තටම නිවාස අවශ්‍ය පුරවැසියන්ට නිවාස ලබා දෙන ප්‍රවේශයක් තමයි අපි රජයක් ලෙස ගන්නේ. අනෙක් කාරණය තමයි පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ සියලුම නිවාස ව්‍යාපෘති අසාර්ථකයි. උදාහරණයක් ලෙස පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ නිවාස හා ඉඳිකිරීම් අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 22ක්ම අසාර්ථකයි. රාජාංගණය යාය 17 නිවාස ව්‍යාපෘතියක් පසුගිය දා මගේ නිරීක්ෂණයට ලක් වුණා, එහි නිවාස 24ක් ඉඳකිරීමට සැලසුම් කර තිබෙනවා, නමුත් එක නිවසයි හදලා තියෙන්නේ. ඒකත් නිවස හදන්න දුන්න කෙනා විකුණුවට පස්සේ ඒක මිලදී ගත්ත කෙනා තමයි ඉඳිකිරීම් අවසන් කරලා තියෙන්නේ. මේ තෝරගෙන තියෙන්නේ නිසා අහිමි ජනතාව නෙමෙයි, දේශපාලන හිතවතුන්, හෙංචයියෝ. තෝරා ගැනීමත් වැරදියි, වැඩපිළිවෙළත් වැරදියි. මේ වගේ උදාහරණ සිය ගණනක් රට පුරාම තිබෙනවා. අලිමංකඩවලත් උදාකළ ගම්මාන හදලා තියෙනවා. මේ ගෙවත් හදා ගන්න ණය දුන්න නිවාස සංවර්ධන අධිකාරියත් දැන් අමාරුවේ වැටිලා ඉන්නේ. ණය අයකර ගන්න බැහැ.
- මේ සම්බන්ධයෙන් ඔබේ වැඩපිළිවෙළ කුමක් ද ?
අපි වඩාත් ඵලදායී වැඩපිළිවෙළක් වෙත යොමු වෙනවා. ගෙයක් නැතිකම, ගෙයක් හදා ගන්න ආදායමක් නැතිකම එකම සාධකය ලෙස අපි සලකන්නේ නැහැ. අපි තෝරා ගන්නේ ගෙයක් නැති, ගෙයක් හදා ගන්න ආදායමකුත් නැති, ඒ වගේම ගෙයක් හදා ගන්න උනන්දුවක් තියෙන පුද්ගලයින්ව. ඔහුව තෝරා ගෙන ලක්ෂ 10ක ආධාරයක් දෙන්න අපි සූදානම්. ඔහු අපේ ආධාරයෙන්, පවුලේ දායකත්වයෙන් සහ ගමේ අයගේ උපකාරයෙන් නිවසා හදා ගත යුතුයි. මේ වැඩපිළිවෙළ යටතේ 2025 දී ගෙවල් 4000ක් පමණ ඉඳිකරන්න අපි බලාපොරෝත්තු වෙනවා. මේ වන විට එවැනි නිවාස විවෘත කරමින් තිබෙනවා.
- තරුණයින් විවාහා වීම ප්‍රමාද කිරීමට සහ විවාහා නොවී සිටීමට නිවාස ප්රශ්නය ඍජුව බලපාන බව අධ්‍යයන ගණනාවකින් හෙළිකර තිබෙනවා. ඒ වගේම ඔවුන් රට හැර යාමටත් මේ ප්රශ්නය සම්බන්ධ වෙනවා. තරුණයින් වෙනුවෙන් නිවාස ලබාදීමට වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබෙනවා ද ?
අපි දූපත් රාජ්‍යයක්. අපට ඉඩම් සීමිතයි. හැමෝටම නිවසක් හදා ගන්න ඉඩමක් දෙනවා කියන එක තව දුරටත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ වගේම වත්මන් තරුණ පරම්පරාව තනි ඉඩමක තනි ගෙයක් හදා ගෙන ජීවත් වෙන්න කැමති නැහැ. ඔවුන් කැමැති නාගරික ප්‍රදේශවල සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතිවල ජීවත් වෙන්න. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නාගරික හෝ අර්ධ නාගරික නිවාස සංකීර්ණවලට යන්න වෙනවා. මෙවැනි නිවාස ව්‍යාපෘතිවලට අදාළ යටිතල පහසුකම් පහසුවෙන් හා කාර්යක්ෂම ලබා දෙන්න පුළුවන් නිසා නාගරික නිවාස සංකීර්ණ වඩාත් වාසිදායක හා පහසු පිළිතුරක් වේවි.
- රජයට තනිවම නිවාස ප්‍රශ්නයට පිළිතුරු සොයන්න පුළුවන් ද ?
බැහැ. ඒ නිසා තමයි නාගරික ප්‍රදේශවල මහල් නිවාස සංකීර්ණ ඉඳිකිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීමට අපි පියවර ගෙන තිබෙන්නේ, ඒ වගේම නාගරික ප්‍රදේශවල මහල් නිවාස ඉඳිකිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයින්ගේ ආයෝජන දිරිමත් අපි පියවර ගන්නවා. අපේ අදහස අනුව නිවාස ප්රශ්නය විසඳීමට රජය, පෞද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධානවල ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ එකතුවකින් පමණයි. මේ වන විට මේ සියලුම අංශ නිවාස ගැටලුවට විසඳුම් සෙවීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. පොදුවේ ගත්විට නිවාස සංකීර්ණ වෙත ගමන් අපට යන්න වෙන්නේ.
- නිවාසක් ඉඳිකිරීමේ දී ඉඳිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් සහ බැංකු පොළිය ආදිය ඍජුව බලපානවා. මේ සියල්ල වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීමට ජනතාවට සිදුවෙනවා. මේ ඉඳිකිරීම් ද්‍රව්‍ය වල මිල ගණන් හෝ බදු අඩු කිරීමට සහ නිවාස ණය සඳහා බැංකු පොළිය අඩු කිරීමට හැකියාවක් නැද්ද ?

ඔව්, අපි මේ වෙනුවෙන් යම් ප්‍රවේශයක් අරගෙන තිබෙනවා. ලබන වසරේදී මේ කියන කාරණා ගැන අවධානය යොමු කරන්න පුළුවන් වෙයි. එහි එක් පියවරක් ලෙස රාජ්‍ය සේවක නිවාස ණය ප්‍රමාණය ඉහළ නැංවීමට අපි පියවර ගත්තා. 2026 දී රාජ්‍ය සේවකයින් 5000කට ආසන්න ප්‍රමාණයකට මේ ව්‍යාපෘතිය හරහා නිවාස ණය ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉදිරියේ දී ආර්ථිකය වර්ධනය වන විට නිවාස ණය පොළිය සහ ඉඳිකිරීම් පිරිවැය අඩුකර ගන්න පුළුවන් වෙයි.
- පසුගිය පාලන කාලවල ඔබේ අමාත්‍යාංශය තුළ සිදු වුණ බව කියන දූෂණ, අයථා ගනුදෙනු සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගෙන තිබෙනවාද ?, ඒවායේ ප්‍රගතිය කොහොමද ?
මේ අමාත්‍යංශය තුළ බොහෝ අකටයුතුකම් සිදුවෙලා තිබෙන බව පැහැදිලිව පේනවා. අපි දැනට මේ සම්බන්ධ තොරතුරු රැස් කරමින් සිටිනවා. මම පුද්ගලිකව ඇතැම් නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කරනවා. ඒ අනුව ඉදිරියේ දී විදිමත් ආකාරයට විමර්ශන ආරම්භ කරනවා, වැරදිකරුවන්ට නිසි දඬුවම් දෙනවා.
රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 23 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද














