ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් සොයන්න අධ්‍යාපන වෘත්තික සභාවක්

​ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ගුරු විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා, දීමනා සහ එම සේවාවන්හි වෘත්තීයභාවය ඉහළ නැංවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු විය.

ගුරු විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

1994 ගුරු සේවා ව්‍යවස්ථාව හඳුන්වාදීමත් සමඟ ගුරු සේවයේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණද, එම ව්‍යවස්ථාව අනුව වසර 30ක පමණ කාලය තුළ ගුරු සේවයේ වෘත්තීයභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වී නොමැති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

එමෙන්ම, සුබෝධිනී වාර්තාවේ යෝජිත වැටුප් ක්‍රමයට අදාළ කොන්දේසි පහ ද මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, එම අවශ්‍යතා සපුරාලමින් ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා සඳහා සාධාරණ විසඳුම් ලබාදීම මෙන්ම ගුරු සේවයේ වෘත්තීය ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අධ්‍යාපන වෘත්තික සභාව පිහිටුවීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළාය.

​එමෙන්ම, ගුරු විදුහල්පති සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කර ඇති බවත්, එහි කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ සඳහා වෘත්තීය සමිතිවලට ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

​එමෙන් ම ගුරු විදුහල්පති සේවය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් අදියර තුනකින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එහි තෙවන අදියරේ වැටුප් වැඩිවීම 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, මෙවැනි අදියරගත වැටුප් වැඩිවීමක් මීට පෙර සිදු කර නොමැති බවද අවධාරණය කළාය.

​මෙවර අයවැය මඟින් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 749 ක මුදලක් වෙන් කර ඇති බවත්, එය මෙතෙක් අධ්‍යාපනය සඳහා වෙන් කළ අයවැය ප්‍රතිපාදනවල ඉහළම අගය බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. එමෙන්ම, විදුහල්පතිවරුන් සඳහා දුරකථන දීමනාවක් ලබාදීමේ හැකියාව පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇති බව ඇය සඳහන් කළා ය.

​මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්, අමාත්‍යාංශ නිලධාරින් සහ යල්වෙල පඤ්ඤාසේකර හිමි, ජෝසප් ස්ටාලින් ඇතුළු ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website