සිසුන්ගේ නවෝත්පාදන නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවිය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමට ආදර්ශ වෙළඳපොළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා
රටක නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම පාසල් අධ්‍යාපනයෙන් හා පන්ති කාමරයෙන්ම ආරම්භ විය යුතු බවත්, සිසුන්ගේ නිර්මාණ සහ කුඩා ව්‍යාපෘති ප්‍රදර්ශනය කිරීමටත්, නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවිය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමටත් ආදර්ශ වෙළඳපොළක් (model marketplace) සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
නොවැම්බර් 25වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) ස්වර්ණ ජයන්තියට සමගාමීව සංවිධාන කළ ‘නවෝත්පාදන ව්‍යාපාර ආකෘති සම්මාන (BIBMA) 2026’ අවසන් සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
නවෝත්පාදන ව්‍යාපාර ආකෘති වෙනුවෙන් නිර්ණායක නවයක් යටතේ සම්මාන, විශේෂ ඇගයීම් සම්මාන, ලෝකඩ, රිදී සහ රන් සම්මාන මෙහිදී පිරිනැමීය.
අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය,
රටක ආර්ථික ශක්තිය රඳා පවතින්නේ පවතින සම්පත් මත පමණක් නොවෙයි. නව අවස්ථා හඳුනාගෙන නවෝත්පාදන අදහස් ප්‍රායෝගික ආර්ථික හා සමාජයීය වටිනාකම් බවට පරිවර්තනය කිරීමේ හැකියාව මතයි.
රජය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ විෂය මාලාවට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා, නමුත් අපගේ අරමුණ සෑම දරුවකුම ව්‍යවසායකයකු කිරීම නොවෙයි, ආර්ථිකය තේරුම් ගැනීමට, දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට සහ නව මූල්‍ය වංචා හා සූරාකෑම්වලින් ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම හා ආත්මවිශ්වාසය සෑම සිසුවකු තුළම ගොඩනැඟීමයි,
ඒ වගේම සිසුන්ගේ නිර්මාණ සහ කුඩා ව්‍යාපෘති ප්‍රදර්ශනය කිරීමටත්, නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවිය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීමටත් ආදර්ශ වෙළඳපොළක් (model marketplace) සකස් කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා. ඊට අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එකඟතාව ලැබුණු බවත් මම කියන්න කැමතියි.
ඒ වගේම පොතපතේ දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා 2026 සිට 2028 දක්වා අදියර තුනකින් දිවයින පුරා ක්‍රියාකාරකම් පාදක වාණිජ ඉගෙනුම් මධ්‍යස්ථාන 100ක් ස්ථාපිත කරන්න රජය කටයුතු කරනවා. එහි පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25ක් ආරම්භ කරන්න මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා.
රට තුළ ආර්ථික පරිවර්තනයක් සදු කරන්නට නම් නව ව්‍යවසාය (Start-ups), ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs / SMEs), මහා පරිමාණ සමාගම් මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් ද ඵලදායී හා තරගකාරී ආර්ථිකයක් ගොඩනැඟීමේ හවුල්කරුවන් විය යුතුයි. ඒ වගේම සේවක සුබසාධනය, ප්‍රජාව සහ පරිසරය කෙරෙහි වගකීමෙන් කටයුතු කිරීම වගේම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) එදිනෙදා ව්‍යාපාර තීරණවලට ඇතුළත් කර ගැනීමත් අවශ්‍යයි.
ඕනෑම පරිමාණයක ව්‍යාපාරයකට දියුණු විය හැකි පරිසරය නිර්මාණය කිරීම රජයේ කාර්යභාරය බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒ සඳහා දැනුම, කුසලතා, තාක්ෂණය, මූල්‍ය සහ වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
















