MSME සඳහා ශක්තිමත් සහ අන්තර්ග්‍රහණයක් සහිත මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමේ ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ADB මූල්‍ය සහාය

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශ සංවර්ධනය සඳහා ශක්තිමත් සහ සියල්ලන් ඇතුළත් මූල්‍ය පරිසරයක් ගොඩනැගීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පවත්වන ලදී. මෙම වැඩසටහන ප්‍රතිපත්ති පාදක ණය සංරචකයකින් සහ මූල්‍ය මැදිහත්වීම් ණය සංරචකයකකින් සමන්විත වන අතර එක් එක් ණය සංරචකය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100 බැගින් වේ.

මෙම ණය මුදල (i) පවතින මූල්‍ය ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරීම, අදාළ නව මූල්‍ය ආයතන පිහිටුවීම සහ පවතින මූල්‍යකරණ ක්‍රමවේද හා මූල්‍ය සේවා නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන මූල්‍ය පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම; (ii) මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය තොරතුරු සහ ඒ ආශ්‍රිත ආයතනික ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම හරහා මූල්‍ය අන්තර්ග්‍රහණය වර්ධනය කිරීම සහ (iii) හරිත මූල්‍ය උපකරණ හඳුන්වාදීම, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ හරිතකරණය සඳහා ආංශික රාමු සංවර්ධනය කිරීම සහ මූල්‍ය පරිසර පද්ධතියට  තිරසාර මිනුම් දර්ශක ඒකාබද්ධ කිරීම මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හරිතකරණය සඳහා වන පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම යන අරමුණු සඳහා භාවිතා කරනු ඇත. මෙම වැඩසටහන 2026 සිට 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රතිපත්ති පාදක ණය සංරචකයට අදාළ සියලු පූර්ව නියමිත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග දැනටමත් සම්පූර්ණ කර ඇති බැවින් ශ්‍රී ලංකා රජයට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක මුදලක් මෙම වැඩසටහන යටතේ අයවැය සහාය මූල්‍යකරණයක් ලෙස තනි වාරිකයකින් ලැබෙනු ඇත.

තවද, මූල්‍ය මැදිහත්වීම් ණය සංරචකය යටතේ සහභාගී වන බැංකු මගින් සහනදායී ණය පහසුකම් සපයනු ලබන අතර, එමගින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීම සහ මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සිදු කෙරේ. රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා අනුව, මෙම පහසුකම විශේෂයෙන්ම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යවසාය, අළුතින් අරඹන ව්‍යවසායන් (start-ups) සහ දේශගුණික මූල්‍යකරණය සහ දේශගුණික ප්‍රතිචාරාත්මක ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල නිරත ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහාය ලබාදීම කෙරෙහි අවධානය යොමු කරයි.

ඒ අනුව, ඉහත මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා වූ ණය ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින්ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා, ෂැනන් කව්ලින් මහත්මිය විසින්ද 2026 නොවැම්බර් මස 23 වන දින කොළඹ මහ භාණ්ඩාගාර පරිශ්‍රයේ දී අත්සන් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website