- 3% පොලියට රුපියල් මිලියන 25 දක්වා ණය සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇත.
- 5% පොලියට රුපියල් මිලියන 25 දක්වා ණය සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර ඇත.
- පොලී සහනාධාර ණය සඳහා රු. මිලියන 95,686ක් වෙන් කර ඇත.
- රජය ණයට ඇප වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) වේගයෙන් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන ණය ලබා දීමට බැංකු 16ක් ඉදිරිපත් වී ඇති බව නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්හ.
2025 දෙසැම්බර් 16 වන දින සිට රාජ්‍ය බැංකු තුනක් දැනටමත් එවැනි ණය නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර පෞද්ගලික බැංකු ඇතුළු තවත් බැංකු 13ක් මෙම ණය ලබා දීම සඳහා ගිවිසුම්වලට එළඹීමට කැමැත්ත පළ කර ඇත.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය බැංකුවලට සියයට 0ක පොලියකට අරමුදල් සපයන අතර, බැංකු රුපියල් මිලියන 25ක් දක්වා ණය 3%ක පොලියකට නිකුත් කරනු ඇත. ඒ අනුව, 2026 වසර සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත.
තව ද, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පුනර්ජීවනය කිරීම සඳහා වන ණය පහසුකම යටතේ, සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා රුපියල් මිලියන 25ක් දක්වා ණය 5%ක පොලියකට ලබා ගත හැකි අතර, 2026 වසර සඳහා මේ සඳහා රුපියල් මිලියන 25,000 ක් වෙන් කර ඇති බව නිලධාරීහු සඳහන් කළහ.
මූල්‍ය ප්‍රවේශයට ඇති ප්‍රධාන බාධක වන ඉහළ පොලී අනුපාත සහ ඇපකර නොමැතිකම සඳහා රජය විසින් සපයන ලද විසඳුම් නිලධාරීන් පෙන්වා දුන්හ. ඉහළ පොලී අනුපාත සඳහා විසඳුම් ලෙස, රජයේ හෝ සංවර්ධන හවුල්කරුවන්ගේ අරමුදල් සහ පොලී සහනාධාර ණය හරහා ක්‍රියාත්මක කරන ලද ප්රතිමූල්යකරණ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත්, 2026 වසර සඳහා මෙම පොලී සහනාධාර ණය සඳහා රුපියල් මිලියන 95,686ක් වෙන් කර ඇති බවත් ඔවුහු පැවසූහ.
ඊට අමතරව, ණය ලබා ගැනීමේදී ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලුවට විසඳුමක් ලෙස ස්ථාපිත කර ඇති ජාතික ණය ඇපකර ආයතනයේ (NCGI) ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ජාතික ණය ඇපකර ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, දැනට අදාළ ණය මුදල සඳහා සියයට 67ක ඇපකර ආවරණයක් ලබා දෙන බවත්, කාන්තා ව්‍යවසායකයින් සඳහා සියයට 80ක ඇපකර ආවරණයක් ලබා දෙන බවත්ය.
ණය මුදලින් සියයට 33ක් ආවරණය නොකර, සියයට 67ක් සඳහා පමණක් ඇපකර ආවරණයක් ලබා දීම ප්‍රායෝගික දුෂ්කරතාවයක් ඇති කරන බවත්, එබැවින් අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මෙම ණය ලබා ගැනීමේදී, ඇපකර සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියා පටිපාටි සහ තොරතුරු තවමත් අදාළ බැංකු සහ ව්‍යවසායකයින් වෙත නිසි ලෙස සන්නිවේදනය කර නොමැති බව මන්ත්‍රීවරු අවධාරණය කළ අතර, නිවැරදි සන්නිවේදනයේ අවශ්‍යතාවය අවධාරණය කළහ.
කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් ණය පහසුකම් පෙබරවාරි දෙවන සතියේ ආරම්භ වන බව නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ. මෙම යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නිර්දේශය මත රුපියල් මිලියන 5ක ණය ප්රදානය කිරීමට නියමිත අතර, 2026 වර්ෂයේදී මේ සඳහා රුපියල් මිලියන 800ක් වෙන් කර ඇත.
ඊට අමතරව, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් හරහා ක්‍රියාත්මක කරන ණය යෝජනා යෝජනා ක්‍රම සහ පොලී සහනාධාර ලබා දෙන අනෙකුත් ණය යෝජනා ක්‍රම පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලද අතර, මෙම යෝජනා ක්‍රම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද ගැටලු දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රජය විසින් ලබා දෙන ප්රතිලාභ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහනට අමාත්‍යවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂ, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්යක්ෂ (වැඩබලන) එම්. ජයලත් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.











