මැතිවරණ වියදම් නියාමන පනතට සිදුකළ යුතුව ඇති සංශෝධන මොනවාද ? – ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි

ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය පවත්වා ගෙන යාම සඳහා කලින් කලට පත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ අත්‍යවශ්‍ය වේ. එසේම නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීමට නම් එකී මැතිවරණ සඳහා සහභාගී වන අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කරන වියදම නියාමනයක් කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙහි අරමුණ වන්නේ මැතිවරණ තරඟ බිම තුළ සමානාත්මතාවය පවත්වා ගෙන යාම සහ ඡන්දදායකයින්ට කිසිම ආකාරයක බලපෑමකින් තොරව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම ය.

ජාතික මැතිවරණ කොමිෂම, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන වසර ගණනාවක් පුරා ගෙන ගිය වැඩපිළිවෙළක කොටසක් ලෙස 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කළ අතර එම පනත මේ වන විට ක්‍රියාත්මක වේ. නමුත් මේ පනත ක්‍රියාත්මක වීමේ දී යම් යම් අඩුපාඩු පවතී. විශේෂයෙන් සිවිල් සමාජ සංවිධාන සහ මැතිවරණයට සම්බන්ධ වන සෙසු සංවිධාන අපේක්ෂා කළ ආකාරයේ ඵලදායීතාවයක් වත්මන් පනත හරහා ලබා ගත හැකි ද ?, යන්න සම්බන්ධයෙන් මේ වන විට විවාදයක් තිබෙන බව කතිකාව පූර්විකාව සටහන් කරමින් නීතිඥ ගයත්‍රී නවරත්න පැවසුවාය.

කේවල හෙවත් කොට්ඨාශ මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ 1946 සිට 1977 දක්වා කාලය තුළ මැතිවරණ වියදම් නියාමනය කිරීමට අදාළව 1946 පාර්ලිමේන්තු මැතිවරණ ආඥා පනත ක්‍රියාත්මක විය. මෙම කාලය තුළ මහ මැතිවරණයට අදාළව මැතිවරණ වියදම් නියාමනය ක්‍රියාත්මක වුව ද එවකට පැවැති ගම්සභා මැතිවරණ සඳමා මැතිවරණ වියදම් නියාමනයක් සිදු නොවීය. වර්තමානයට සාපේක්ෂව මෙහි ඇති විශේෂත්වය වන්නේ මන්තීධුර අපේක්ෂකයින්ට පමණක් අදාළ නීතිය ක්‍රියාත්මක වීමය. පක්ෂවලට මෙහි බලපෑමක් නොවීය.

මැතිවරණ වියදම් නියාමනයට අදාළ පළමු නඩුව 1947 මහ මැතිවරණ අපේක්ෂකයෙකු වූ ජෝර්ජ් ඊ ද සිල්වාට  එදිරිව සහ ටී.බී. ඉලංගරත්නට එරෙහිව පවරනු ලැබුවේය. එවකට දේශපාලන දැවැන්තයින් ලෙස සැලකිය හැකි මේ දෙදෙනාටම  මන්ත්‍රීධුර අහිමි වීම මෙම නඩුවල ඇති විශේෂත්වයයි.

1965 දැදිගම ආසනයට පැවැති අතුරු මැතිවරණයේ දී එජාප නායක, හිටපු අගමැති ඩඩ්ලි සේනානායකට එදිරිව තරඟ කළ විපක්ෂ අපේක්ෂකයා මැතිවරණයට ඉදිරිපත් නොවී ඉල්ලා අස් වූ අතර ඔහු මැතිවරණයට අදාළව සිය විදයම් වාර්තා ලබා නොදුන්නේය. (ඉල්ලා අස් වූ හෙයින් අදාළ යැයි නොසිතා) එහෙත් මැතිවරණ වියදම් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව නඩු පවරා අධිකරණය ඉදිරියේ වරදකරු කිරීමෙන් පසු දඩ මුදල් අයකර ගත්තේය.

මේ ආකාරටෙන් 1977 දක්වා ඉතාම සක්‍රීය ලෙස මැතිවරණ වියදම් නියාමන ආඥා පනත ක්‍රියාත්මක වූ බව මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහතා පැහැදිලි කළේය.

  • 1977 න් පසු මොකද වුණේ ?

“1977න් පස්සේ ජනාධිපතිවරණය, ජනමත විචාරණය, පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ වශයෙන් ජාතික මැතිවරණ කිහිපයක් තිබුණ නිසා මැතිවරණ වියදම් නියාමනයක් ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන් සමානුපතික ක්‍රමය සහ මනාප ක්‍රමය හඳුන්වා දීම නිසා මැතිවරණ වියදම් නියාමනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි දෙයක් බවට පත් වුණා. සමානුපාතික ක්‍රමය සහ මනාප ක්‍රමය නිසා එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයින් අතර පවා විශාල තරඟයක්, මනාප පොරයක් ඇති වුණා. ඒ නිසා මැතිවරණ වියදම් නියාමනය හිතා ගන්නවත් බැරි දෙයක් බවට පත් වුණා.” මොහොමඩ් මහතා කතිකාවට ප්‍රවේශයක් ගනිමින් පෙන්වා දුන්නේය.

“තමන්ට පුළුවන් උපරිම මුදලක් වියදම් කරලා මැතිවරණය ජයග්‍රහණය කිරීම මේ වන විට අපේක්ෂකයින්ගේ එකම අරමුණ වුණා” යැයි කී මොහොමඩ් මහතා මේ හේතුවෙන් මැතිවරණයක වැදගත්ම කොන්දේසියක් වූ ‘සමබිම’ කියන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය අහෝසි වූ බව ද සඳහන් කළේය.

“සමහර අපේක්ෂකයින්ට තමන්ගේ අත්පත්‍රිකාව ගහගන්නවත් මුදලක් නෑ, සමහරු කෝටි ගණන් වියදම් කරලා තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය කළා” ඔහු කීවේය.

මෙම ඉතා අසමබර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මැතිවරණ කොමිෂමේ, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල, දේශපාලන විශ්ලේෂකයින්ගේ සහ සිවිල් සමාජයේ දැඩි විවේචනයට ලක් වූ බව පෙන්වා දුන් මොහොමඩ් මහතා,  මෙම අසමමිතික බව ඉවත් කර මැතිවරණ තරඟ බිම සමමිතික කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කරන මෙන් ඉහත දක්වන ලද පාර්ශ්ව විසින් නීති සම්පාදකයින්ට අඛණ්ඩව බලපෑම් කළ බව ද පෙන්වා දුන්නේය.

“අනිවාර්යයෙන්ම මැතිවරණ වියදම් නියාමනයක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දුන්නා” යැයි කී මොහොමඩ් මහතා ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කළ බව ද සඳහන් කළේය.

  • මැතිවරණ වියදම් නියාමන පනත

මෙම පනත මේ වන විට මැතිවරණ වර්ග තුනකට අදාළ ක්‍රියාත්මකව ඇති අතර ඒ නිසා මෙහි සාධනීය සහ නිශේධනීය ලක්ෂණ ද සැලකිය යුතු හඳුනාගත හැකි වූ බව මොහොමඩ් මහතා කීවේය.

1977ට පෙර ක්‍රියාත්මක වූ මැතිවරණ වියදම් නියාමන ආඥා පනතේ එක් එක් අපේක්ෂකයා විසින් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල ගැන සඳහන් නොවූ බව පෙන්වා දුන් මොහොමඩ් මහතා නව පනතේ ඒ ගැන ඉතාම පැහැදිලිව සඳහන්ව ඇති බව පෙන්වා දුන්නේය. උද්ධමනය ඇතුළු සාධක මත අදාළ මුදල වෙනස් කිරීමට හැකියාව පැවැතිම ධනාත්මක ලක්ෂණයක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

“1946 සම්මත කළ පනත දීර්ඝ කාලයක් පුරා සංශෝධන රහිතව ක්‍රියාත්මක වුණා. නමුත් නව මැතිවරණ වියදම් නියාමන පනත මැතිවරණයෙන් මැතිවරණයට අදාළ මුදල සංශෝධනය කළ හැකි ආකාරයටයි සකස් කරලා තිබෙන්නේ “ මොහොමඩ් මහතා කීවේය.

  • අඩුපාඩු හා සංශෝධන කළ යුතු තැන්

මීට පෙර පැවැති නීතිය අනුව අදාළ වියදම් වාර්තාව ලබාදීමට මාසයක කාලයක් ලබා දී තිබුණත් වර්තමාන නීතිය අනුව ලබා දී ඇත්තේ දින 21ක් වැනි ඉතාම සීමිත කාලයක් බව ද පෙන්වා දුන්නේය. වත්මන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉතාම පුළුල් සහ සංකීර්ණ එකක් බවත් ඒ අනුව අදාළ වියදම් මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කිරමට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නොවන බව ද මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ දී සැලකිය යුතු අපේකෂකයින් පිරිසක් මැතිවරණ වියදම් වාර්තා ලබා නොදීමට මේ සීමිත කාලය ප්‍රධාන හේතුවක් බව තමා විශ්වාස කරන බව ද ඔහු මෙහිදී සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.

‘අපේක්ෂකයෙක් දිනුවත්, පැරදුනත් සාමාන්‍ය තත්ත්වයට එන්න සති කිහිපයක් යනවා. ඒ නිසා මේ වාර්තා ලබා දෙන්න අඩුම ගානේ මාස දෙකක පමණ කාලයක් ලබා දිය යුතුයි” ඔහු කීවේය.

මෙම මැතිවරණ වියදම් වාර්තා එකතු කර ගැනීම සහ ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා තේරීම්භාර නිලධාරීන්ට දින 10ක් වැනි කාලයක් ලබාදී ඇති අතර එම කාලය ද දීර්ඝ කළ යුතු බව මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

මැතිවරණ වියදම් නීතිය උල්ලංඝණය කළ අපේක්ෂකයින්ට එරෙහිව දින 10ක් වැනි කෙටි කාලයක් තුළ මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළ යුතු වුව ද එම කාලය ද කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය.

“ මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝණයක කළ අපේක්ෂකයෙකුට එරෙහිව නඩු පැවඍිමට ඇති කාලය තවත් දීර්ඝ කළොත් ඒක මේ ක්‍රියාවලිය හා සම්බන්ධ වී සිටින සියලු පාර්ශ්වයන්ට සහනයක්” මොහොමඩ් මහතා දැඩිව අවධාරණය තළේය.

“මේ පනතේ තියෙනවා ‘තහනම් ලැබීම්’ කියලා වගන්තියක්. ඒවා දැඩිව සීමා කරලා තිබෙනවා. නමුත් ඍජුව ලැබුණේ නැතත් වක්‍රාකාරව මුදල් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට ලැබුණු මුදල් ප්‍රමාණය සහ තමන් කළ වියදම් ගැන විස්තර ලබා දෙන්නෙත් අදාළ අපේක්ෂකයාම තමයි. ඒ නිසා විවිධ වංචා සිදුවෙන්න වැඩි හැකියාවක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ද යම් නියාමනයක් අවශ්‍යයි. වැරදි කළාට පස්සේ අල්ලනවාට වඩා, ඊට පෙර වැරදි අවම කර ගැනීම තමයි වැදගත් වෙන්නේ” මොහොමඩ් මහතා පැහැදිලි කළේය.

මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝණය කළ අපේක්ෂකයෙකුට ක්‍රම හතරකට නඩු පැවරීමක් කළ හැකි බව පෙන්වා දුන් ඔහු අදාළ වාර්තා නියමිත දිනට පෙර භාර දුන් අපේක්ෂකයින්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පෙර අදාළ වාර්තා පරිශීලනය කර, එහි ඇති වැරදි වලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති නොමැති බව ද පෙන්නා දුන්නේය.

අදාළ අපේක්ෂකයින්ට මුදල් ලැබුණු ආකාරය සහ ඔවුන් එකී මුදල් උපයා ගත් ආකාරය සොයා බැලීමට සහ ඔවුන් ආදායම් බදු ගෙවා තිබේද යන්න සොයා බැලීමට දේශීය ආදායම් බහු දෙපාර්තමේන්තුව සමඟ සහයෝගීව කටයුතු කිරීමට මැතිවරණ කොමිෂමට හැකියාව තිබුණ ද එය නෛතික ප්‍රතිපාදන මත සිදුවිය යුතු බවත්, ඒ වෙනුවේ අදාළ නීති සංශෝධන සිදුකළ යුතු බවත් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමන නීතිය උල්ලංණය කළ අපේක්ෂකයින්ට එරෙහිව නඩු පැවරීමට වත්මන් ක්‍රමය කාලය ගත වන එකක් බව පෙන්වා දුන් මොහොමඩ් මහතා මීට වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම පනතට අදාළ සංශෝධන ගෙන ආ යුතු බව ද මෙහිදී අවධාරණය කළේය.

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේදී පැෆරල් සංවිධානය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර ඒ වෙනුවෙන් යෝජනා ලබාදීමක් ද කළේය. නමුත් මුල් කෙටුම්පතේ සහ අවසන් කෙටුම්පතේ සැලකිය යුතු විෂමතා තිබූ අතර පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවලින් ද සැලකිය යුතු ප්‍රමාණයක් පනතේ අවසන් කෙටුම්පත තුළ අන්තර් ගත නොවීය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පැෆරල් සංවිධානය යෝජනා කළේ ‘මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වෙනම ගිනුමක් ආරම්භ කළ යුතුය’යන්නය. තේරීම්භාර නිලධාරිවරයාට හෝ දිස්ත්‍රික් මැතිවරණ  කාර්යාලයේ නම් කළ නිලධාරියෙකුට අදාළ ගිනුම පරීක්ෂා කිරීමේ හැකියාව තිබිය යුතු බව ද එම යෝජනා අතර විය.

  • අපි කළ යෝජනා වැඩි හරියක් හලලා

නමුත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමේ දී පැෆරල් යෝජනා අතර තිබූ වැදගත් කොටසක් මගහැරීමට ලක්ව ඇත. ඒ මැතිවරණ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග ලබාගැනීමේ දී එය යම්කිසි ප්‍රතිශතයකට යටත් කිරීම සම්බන්ධ යෝජනාව බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් පෙන්වා දුන්නේය.

“අපි මේ යෝජනාව කළේ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් පසුවයි. උදාහරණයක් ලෙස කිසියම් අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක වියදම්වලින් යම්කිසි විශාල ප්‍රතිශතයක් පරිත්‍යාග ලෙස ලැබුණොත් අදාළ පරිත්‍යාගය කළ පුද්ගලයා හෝ ආයතනය විසින් අදාළ අපේක්ෂකයා මිලදී ගත්තා වැනි තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ තත්ත්වය වළක්වා ගැනීමේ අරමුණින් තමයි අපි පරිත්‍යාග ලෙස ලබාගත හැකි මුදල යම් ප්‍රතිශතයකට යටත් කළ යුතු බව යෝජනා කළේ. අපි කළ ඒ යෝජනාවත් මේක නීතියක් බවට පත් වීමේදී නොසලකා හැර තිබෙනවා” සුජීව සඳහන් කළේය.

මෙහිදී සුජීව පෙන්වා දුන්නේ පිළිගත් විගණන නිලධාරියෙකුගේ අනුමැතිය යටතේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් ලැබීම් සහ වියදම් සකස් කර ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ද පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළත් එම යෝජනාව ද පනත තුළ අන්තර්ගත නොවූ බවයි.

  • නීතිය හාස්‍යයට ලක්වීම

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් සුජීව මෙසේ ද පෙන්වා දුන්නේය. “දැන් තියෙන්නේ සමාදාන විනිශ්චයකාරවරයෙකුගේ අත්සන ලබා ගැනීම පමණයි. ඒ කියන්නේ ‘මේ පුද්ගලයා දන්නවා’ කියන වචනය පමණයි වත්මන් මැතිවරණ ආදායම් – වියදම් වාර්තාව ලබාදීමේදී අවශ්‍ය වෙන්නේ. අන්තර්ගතය ගැන කිසිම වගකීමක් නැහැ. ආදායම් – වියදම් වාර්තා ලබා දුන් අපේක්ෂකයින්ගේ ඉහළ ප්‍රතිශතය ගැන සතුටු වුණාට එහි අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ. දැන් පොලිසියෙන් නඩු පැවරීමට යන්නේම ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට පමණයි. නමුත් අදාළ වාර්තා ලබා දුන් බොහෝ දෙනෙක් නිවැරදි හා පිළිගත හැකි වාර්තා ලබා දී නැති බවයි අපේ අදහස. ජනාධිපතිවරණය වැනි විශාල වශයෙන් මුදල් වැය කළ ඇතැම් අපේක්ෂකයින් ලබාදී තිබෙන්නේ පිටුවක දෙකක වාර්තාවක්. මේකෙන් වෙන්නේ නීතිය හාස්‍යයට ලක්වීම් පමණයි. මේ නිසා නියමිත කාල සීමාවක් තුළ ආදායම් – වියදම් වාර්තා ලබා ගැනීම වගේම එහි අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා යම්කිසි නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා”.

  • අඩුපාඩු මෙන්න

පැෆරල් සංවිධානය විසින් නිකුත් කළ පර්යේෂණ වාර්තාවට අනුව මෙම පනතේ සංශෝධනය කළ යුතු තැන් ද ගණනාවකි. විශේෂයෙන් ප්‍රචාරක කාලසීමාව ගණනය කිරීම අභියෝගාත්මක කරුණකි. මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මක වන්නේ මැතිවරණ නාම යෝජනා කාලය අවසන් වූ පසුව වුවත් රට තුළ දැකගත හැකි සුලභ තත්ත්වය වන්නේ ඊට බොහෝ කාලයකට පෙර බොහෝ අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමය.

“අපි දන්න ආකාරයට අදාළ අපේක්ෂකයා පනත බලාත්මක වෙන්න බොහෝ කාලයකට පෙර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලින් 50%ක් පමණ අවසන් කරනවා. මෙවැනි පසුබිමක් තුළ මේ පනතින් අපේක්ෂා කළ අරමුණු ඉටු වුණා ද කියන ගැටලුව ඇති වෙනවා” තම සංවිධානය හඳුනා ගත් ගැටලු පැහැදිලි කළ සුජීව ඒ වෙනුවෙන් පැෆරල් යෝජනා ද ඉදිරිපත් කළේය.

“මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ වියදම් නියාමන පනත බලාත්මක කරන්න කියලා අපි යෝජනා කරනවා. ඊට අමතරව අපේක්ෂකයාගේ සන්නිවේදන හා ප්‍රවාහන කටයුතු හැර සෙසු වියදම් මැතිවරණ නියාමන පනතට අදාළ වෙනවා. අපි මෙහිදී යෝජනා කරන්නේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා කරන ප්‍රචාරණයට ද යම්කිසි සීමාවක් පැනවිය යුතු බවයි. එයින් අදහස් වන්නේ අදාළ අපේක්ෂකයාට වියදම් කළ හැකි මුදලින් යම්කිසි ප්‍රතිශතයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරක කටයුතු වලට යෙදවිය හැකි බවට නියම කිරීම ඉතා වැදගත්. බොහෝ විට මේ නීතිය අවභාවිත වෙන්නේ මේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරණ කටයුතු තුළයි. ඒ නිසා මේ වියදම් සම්බන්ධයෙන් යම්කිසි සීමා කිරීමක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

  • ආකෘති පත්‍රයක් අවශ්‍යයි

ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු ආකෘතිය සම්බන්ධයෙන් පනත තුළ සඳහනක් නොමැති බව ද සුජීව පෙන්වා දුන්නේ ය. මෙහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ අපේක්ෂකයින් විවිධාකාරයෙන් තම විස්තර ලබාදීම තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණ වීම අනිවාර්යය බවයි.

මේ සම්බන්ධයෙන් පැෆරල් යෝජනාව වන්නේ, පනත තුළින්ම උපදෙස් දෙන යම්කිසි නිශ්චිත ආකෘති පත්‍රයක් ඉදිරිපත් කිරීම බව කී සුජීව, එය මගපෙන්වීමක් පමණක් විය යුතු බව ද කීවේය.

“අවශ්‍ය නම් ඒ මාර්ගෝප‌දේශ අනුව ආදායම් – වියදම් ප්‍රකාශනය හදන්න පුළුවන්, නැතිනම් නොකර ඉන්න පුළුවන්” ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් නිශ්චිත ආකෘතියක් පනතින්ම හඳුන්වා දිය හැකි නම් එය ඉතා වැදග් බව ද සුජීව කීවේය.

  • ඬුවම් ලබාදීම

මෙම පනත අනුව කටයුතු නොකරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගත හැකි නෛතික පියවර සහ දඬුවම් සම්බන්ධයෙන් තම අතෘප්තිය පළ කළ සුජීව ‌මේ සම්බන්ධයෙන් නඩු තීන්දු ලබාදීමට ඇතැම් අවස්ථාවල විශාල කාලයක් ගත වන බව ද පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ඔහු මෙසේ ද පෙන්වා දුන්නේය. “වැලිගම ප්‍රාදේශීය සභාවේ නීති විරෝධී ප්‍රචාරක කටයුත්තකට අදාළ නඩු තීන්දුව දුන්නේ අවුරුදු හයකට පස්සේ. ඒ නිසා අපේ යෝජනාව වන්නේ මේ දඬුවම් කාලසීමාව තව දුරටත් දීර්ඝ කළ යුතු අතර අදාළ නඩු තීන්දු ලබාදීමට යම්කිසි නිශ්චිත කාලයක් ද ලබාදිය යුතුයි.”.

2015 දී මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ වීමෙන් පසු මැතිවරණ ක්‍රියාවලියට අදාළ විප්ලවීය වෙනස්කම් රැසක් සිදු වූ අතර එයින් එකක් ලෙස 2023 අංක 03 දරන  මැතිවරණ වියදම් නියාමන පනත සැලකිය හැකිය. එහෙත් මෙම පනත ක්‍රියාත්මක වීමේදී එහි යම් යම් දුර්වලතා දැකගත  හැකි විය.

පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8000කට අධික පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළ ආදායම් සහ විදයම් වාර්තා පරිශීලනය කිරීමට තමාට අවස්ථාව ලැබුණු බව මංජුල ගජනායක කතිකාවට ප්‍රවේශයම් ගනිමින් කීවේය.

  • දුබලතා වලින් ප්‍රයෝජන ගැනීම

ඉහත දක්වන ලද ආදායම් හා වියදම් වාර්තා කියවීමෙන් තමා ලත් අත්දැකීම් මත පදනම්ව කරුණු පැහැදිලි කළ මංජුල ගජනායක පෙන්වා දුන්නේ අදාළ පන‌තේ තිබෙන යම් යම් ආවේණික දුර්වලතා වලින් ප්‍රයෝජන ගනිමින් ඉතාම උපක්‍රමශීලී ලෙස අදාළ වාර්තා ඉදිරිපත් කර ඇති බව තමාට නිරීක්ෂණය වූ බවයි.

අති බහුතරයක් අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව ලබා දුන් වියදම් ඉක්මවා නොයන ආකාරයට ඉතාම සූක්ෂම ලෙස සිය වාර්තා සකස් කර ඇති බව තමා නිරීක්ෂණය කළ බව කී මංජුල මෙම අපේක්ෂකයින් කොතරම් නිවැරදිව හා විනයගරුක ලෙස මැතිවරණ කොමිෂම විසින් ලබා දුන් වියදම් සීමාව තුළ කටයුතු කර තිබේද යන්න ගැන තමා පුදුමයට පත් වූ බව ද කීවේය.

“මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඇති මැසිවිල්ල තමයි මේ සීමාවට ඔවුන්ට අතදැමීමට නොහැකි වීම” මංජුව පෙන්වා දුන්නේය.

“වත්කම් සහ බැරකම් ප්‍රකාශ ගැන කතා කරන කොටත් මේ සැන්තෑසියම තමයි සිද්ධ වුණේ” යැයි කී මංජුල මැතිවරණ කොමිෂන් සභාව ද අද මුහුණ දෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මුහුණ දුන් අභියෝගයට බව ද කීවේය.

‌’මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට මැතිවරණ වියදම් සම්බන්ධව කටයුතු කරන අංශ සැලසුම් කරමින් සිටිනවා” ඔහු සඳහන් කළේය.

  • මැකොට කළ හැකි දේ

මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලතල අනුව මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපහසුවක් නොමැති බව පෙන්වා දුන් මංජුල ගජනායක මේ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම දෝෂාරෝපණයට ලක් කළේය.

“එය සොඳුරු දෝෂාරෝපණයක් ලෙස සලකන්න” ඔහු ඉල්ලා සිටියේය.

මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් ලෝකයේ අතිෂය ප්‍රගතිශීලී මැතිවරණ නීතිවල පවා ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා ඇතැයි තමා නොසිතන බව කී මංජුල මේ  හා සම්බන්ධ ජාත්‍යන්තර නඩු තීන්දු කිහිපයක් ද උපුටා දැක්වූවේය.

  • හාස්‍ය ජනක කතා

පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයින් පුද්ගලිකව ප්‍රචාරණ වියදම් කළ ආකාරය උපුටා දැක්වූ මංජුල ගජනායක අඩුවෙන් වියදම් කළ බව කියන අනුර කුමාර දිසානායක පිටු දහස් ගණනක වාර්තාවකුත්, වැඩියෙන්ම මුදල් වියදම් කළ රනිල් වික්‍රමසිංහ පිටු කිහිපයක ආදයම් හා වියදම් වාර්තාවකුත් මැතිවරණ කොමිසමට ලබාදී ඇති බව තමා නිරීක්ෂණය කළ බව කීවේය.

“දැන් අපිට පුළුවන් ද ඉතාම කුඩා වාර්තාවක් ලබා දුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් හෝ ඉතා විශාල වාර්තාවක් ලබා දුන් අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් නෛතික ක්‍රියාවකට යන්න ?”, මගේ උතත්රේ තමයි ‘බැහැ’ කියන එක. ඒ කියන්නේ මෙවැනි බරපතළ අවස්ථා පවා අපට මග හැරෙනවා” මංජුල වත්මන් මැතිවරණ වියදම් නියාමන පනත මුහුණ දී සිටින තවත් අර්බුදයක් නිරාවරණය කරමින් පෙන්වා දුන්නේය.

“අක්මීමන දයාරතන ඇතුළු තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් විශාල පිරිසක් ලබා දුන් වාර්තා ඉතාම අක්‍රමවත්. ඒත් ඔවුන් සම්බන්ධයෙන් පවා මැතිවරණ කොමිෂමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ” යැයි කී මංජුල තවත් වැදගත් කරුණක් ද හෙළි කළේය.

“තෙවැනි පාර්ශ්වයකටම පුළුවන් අපේ මුළු මැතිවරණයම ප්‍රාණඇපයට ගන්න”

  • සිදුවිය යුතු වෙනස්කම්

මැතිවරණ වියදම් නියාමන පනතේ සිදුවිය යුතු වෙනස්කම් හෝ සංශෝධන සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ මංජුල ගජනායක පෙන්වා දුන්නේ අදාළ ආදායම් හා වියදම් වාර්තා ලේඛනගත කිරීම සම්බන්ධයෙන් යම් නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. මේ ක්‍රියාවලියට අදාළ මැතිවරණ කොමිෂම සතු අධිකාරී බලය පුළුල් විය යුතු අතර දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට ප්‍රමාණවත් සහායක් හිමිවිය යුතු බව ද ඔහු කීවේය.

“ඒ වගේම තමයි අදාළ පරිත්‍යාග කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිෂමට මාර්ගත වේදිකාවක් හදලා  දීලා මේවා උඩුගත කිරීමට පහසුකම් ලබාදිය යුතුයි. ඊට පසුව මේවා පරිශීලනයට මාර්ගත ක්‍රමය හරහා අවස්ථාව ලබාදිය යුතුයි” මංජුල ගජනායක තව දුරටත් තම ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website