විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද (18) අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදී, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල සඳහා හඳුන්වා දුන් නව පොදු වෙබ් අඩවි වේදිකාව සමඟ නවීකරණය කරන ලද අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය දියත් කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, රජයේ ආයතනවල නියෝජිතයින් සහ තාක්ෂණික හවුල්කාර සංවිධානවල සහභාගීත්වයෙන්, නව වෙබ් අතුරු මුහුණතකින් යුත් නවීකරණය කරන ලද වෙබ් අඩවිය දියත් විය.
ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන ජනතාවට වැඩි කාර්යක්ෂමතාවයකින්, ප්‍රවේශ්‍යතාවයකින්, විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව සේවා සැපයීම වැඩිදියුණු කිරීම බව රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍ය හේරත් අවධාරණය කළේය. නව වෙබ් අඩවි වේදිකාව මගින්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්, විදේශීය පාර්ශ්වකරුවන්, ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ඩිජිටල් සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇති බව අමාත්‍ය හේරත් තවදුරටත් සඳහන් කළේය.
පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියරේ පාර්ශ්වකරුවන් ලෙස, බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා දූත මණ්ඩල හතක් මෙම ඒකාබද්ධ වේදිකාවට ඇතුළත් විය. නුදුරු අනාගතයේ දී, විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල ඒකාබද්ධ හා ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාවක් යටතට ගෙන ඒමේ අරමුණින්, පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතිය අදියර කිහිපයකින් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව Frontwalker පුද්ගලික සමාගමෙහි තාක්ෂණික විශේෂඥතාවයෙන් මෙම මුලපිරීමේ මෙහෙයුම් කටයුතු සිදු විය.
දියත් කරන ලද නව වෙබ් අඩවිය සහ පොදු වෙබ් අඩවි වේදිකාව, ආරක්ෂාව, විශ්වසනීයත්වය, ප්‍රවේශ්‍යතාව සහ පරිශීලක-හිතකාමීත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇත. මෙම දියත් කිරීම රජයේ ඩිජිටල් පරිවර්තන ප්‍රතිපත්තියට අනුකූලව අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, නවීන, ආරක්ෂිත සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් වේදිකා හරහා රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා රජය දක්වන දැඩි කැපවීම පිළිබිඹු කරයි.
















