
හීලෑ අලි සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයක් ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතා පවසයි.
මෙම කරුණු සම්බන්ධයෙන් විද්වතුන් සහ අදාළ පාර්ශ්ව එක් කරමින් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වනාන්තරවල වෙසෙන වන අලි සංරක්ෂණය කිරීම සහ අලි මිනිස් ගැටුම් අවම කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඔහු පැවසීය.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබුණ ද ඊට අදාළ නීති සහ රෙගුලාසි පෙර නොතිබූ බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම වසරේ ජනවාරි 30 වැනිදා ගැසට් පත්‍රයක් මඟින් එම රක්ෂිතයට අදාළ නීති හා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී අදාළ කළමනාකරණ කමිටුව පත් කර දැනට හඳුනාගෙන ඇති ගැටලු සඳහා නිර්දේශ ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.













