යටත් විජිත සමයේ මෙරටින් රැගෙන යන ලද ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලබාගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ රාජතාන්ත්‍රික ප්‍රවේශයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
පසුගිය දා 17 වැනි දා කොළඹ පැවති Whose Law?” පර්යේෂණ සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.
යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවෙන් විදේශීය රටවලට රැගෙන යන ලද සංස්කෘතික උරුමයන්ට අදාළ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා නීති විශාරදයින්, ඉතිහාසඥයින්, පර්යේෂකයින්, කෞතුකාගාර වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සඳහා මෙම සමුළුව වේදිකාවක් ලෙස සේවය කළේය. නීතිමය හා ඓතිහාසික පර්යේෂණ, සංස්කෘතික මතකය සහ සදාචාරාත්මක ප්‍රතිසංස්කරණය සමුළුවේ ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍ර විය.
සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ මෙම සමුළුව සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හෝ දේශපාලන සිදුවීමක් නොව නීතිය, ඉතිහාසය, සංස්කෘතිය, මතකය, යුක්තිය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය එකට එකතු වන වැදගත් සංවාදයක් බවයි.
යටත් විජිත සමයේදී මෙරටින් රැගෙන යන ලද සංස්කෘතික වස්තූන් හුදෙක් කෞතුකාගාර කෑලි ලෙස නොසැලකිය යුතුය. ඒවා ජාතීන්ගේ සහ ජනතාවගේ ජීවමාන උරුමයේ, අනන්‍යතාවයේ සහ ඓතිහාසික මතකයේ කොටසක් ලෙස සැලකිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මෙම සංස්කෘතික උරුමයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය ප්‍රතිපත්තිමය, සාක්ෂි පදනම් කරගත් සහ රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. එවැනි උත්සාහයන් ගැටුම්කාරී ලෙස නොසැලකිය යුතු අතර, පර්යේෂණ, අන්‍යෝන්‍ය අවබෝධය, වගකිවයුතු ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ඉතිහාසය සමඟ අවංක හවුල්කාරිත්වය සඳහා අවස්ථා ලෙස සැලකිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාර උරුමයට ත්‍රිකුණාමලය සමඟ තමන්ගේම අද්විතීය සම්බන්ධතාවයක් ද ඇත. උරුමය කෞතුකාගාරවල පමණක් නොව භූ දර්ශන, වෙරළ තීරයන්, මතකයන් සහ මිනිසුන් විසින් පවත්වනු ලබන කථා වල ද ජීවත් වේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා නීතිමය පැහැදිලිකම, ආයතනික සම්බන්ධීකරණය, මහජන අධ්‍යාපනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව කී අමාත්‍යවරයා මතකය පද්ධතියක් බවටත්, පර්යේෂණ ප්‍රතිපත්තියක් සහ හවුල්කාරිත්වයක් බවටත් පරිවර්තනය කළ යුතු බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ උරුමයට අදාළ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර හවුල්කරුවන්, විද්වතුන්, කෞතුකාගාර සහ රජයන් සමඟ සංවාද, පර්යේෂණ, සංස්කෘතික සහයෝගීතාව සහ ප්‍රතිපත්තිමය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පැවැත්වීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කැපවී සිටින බව ඔහු පැවසුවේය.













