
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකදීම සංවිධානය කරන කතිකාව කාලීන සංවාද මාලාවේ 249 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන තේමාව යටතේ පවැත්විණි. මෙවර කතිකාවේ සම්පත් දාකයින් ලෙස දේශපාලන විශ්ලේෂිකා මයුරි රණසිංහ, ලර්න් ඒෂියා ආයතනයේ හිටපු පර්යේෂිකා ගයාෂි ජයසිංහ, මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් යන විද්වතුන් සහභාගී වූ අතර කතිකාව මෙහෙයවීම මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සිදු කළේය. මෙම කතිකාව සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
- හැඳින්වීම
‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.
එම සංවිධාන මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ දේශපාලන පක්ෂ සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ජනමාධ්‍ය හරහා ද මතයක් නිර්මාණය කරමින් බලපෑම් කිරීමට පියවර ගත්තේය.
- අලුත් ප්‍රවණතාවක්
2015 ජනාධිපතිවරණ සමයේ දී අලුත් ප්‍රවණතාවක් ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ විසින් දියත් කළ අතර 2019 සහ 2024 දී එය ඉහළම තලයකට පැමිණියේය. මෙම මැතිවරණ ව්‍යාරයේ ප්‍රධාන ඉලක්ක දෙකක් තිබුණේය. ඉන් ප්‍රධාන ඉලක්කය වූයේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම හරහා ඔවුන්ගේ දේශීය පවුල්, ඥාතීන් සහ සමීපතමයින් වෙත බලපෑමක් කිරීමය. අනෙක් අරමුණ වූයේ ඔවුන්ගෙන් කිසියම් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකාවට කැඳවා ගැනීමය. මේ ප්‍රචාරක ව්‍යාපෘතිය වඩාත්ම අදාළ වූයේ විදෙස් ගතව සිටියත් ශ්‍රී ලංකාවට පැමිණ ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව හා ශක්තිය තිබුණ පුද්ගලයින්ට.
එහෙත් මැද පෙරදිග, දකුණු කොරියාව ඇතුළු බොහෝ රටවල් වල සේවය කරන තාන්තාවන්ට සහ තරුණයින්ට මැතිවරණය වෙනුවෙන් මව්බිමට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් හෝ ශක්තියක් නැත. ඒ නිසා ලක්ෂ ගණනක් වන මෙම පිරිසට අදාළ රටේ සිටම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන්නේ නම් එය වටිනා අවස්ථාවක් වන අතර එය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ද හේතුවක් වේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටේ සිටම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ මේ පසුබිම තුළ ය. මේ ඉල්ලීම සම්බන්ධ සංවාදය දීර්ඝ කාලයක් පුරා සක්‍රීයව තිබුණ ද ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන්න තවමත් සංවාද තලයේ පවතී. එය යතාර්ථයක් වනු දැකීම මිලියන දෙකකට ආසන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ ද බලාපොරොත්තුවවේ.

ද්විත්ව පුරවැසියන්ට නොව මැද පෙරදිග ශ්‍රී ලාංකික ශ්රමයින්ට නම් ඡන්ද බලය ලබා දිය යුතුයි – මයුරි රණසිංහ – දේශපාලන විශ්ලේෂිකා
විදෙස්ගත ශ්‍රීලාංකිකයින් දේශපාලන පක්ෂවල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වීම වර්තමාන දේශපාලන ප්‍රවණතා අතර වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. ඔවුන් මෙම ඉලක්ක ගත ප්‍රජාවෙන් අපේක්ෂා කරන කාරණා ද ගණනාවකි. එහෙත් ශ්‍රීලාංකික ඩයස්පෝරාව යනු ඒකීය පිරිසක් හෝ ප්‍රජාවක් නොවේ. ඔවුන් අතර සංකීර්ණ විවිධත්වයක් දැකගත හැකි අතර ඔවුන්ගේ දේශපාලන ප්‍රමුඛතා ද විවිධය, පරස්පරතා සහිතය.
කතිකාවට ආරම්භ ප්‍රවේශය ගනිමින් දේශපාලන විශ්ලේෂිකා මයුරි රණසිංහ පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් විශාල පිරිසක් නියෝජනය කරන්නේ මැද පෙරදිග ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා කරන ග්‍රාමීය හෝ අර්ධ නාගරික කාන්තාවන් බවයි. එසේම යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු දියුණු සංවර්ධිත රටවල සිය පවුල් සමඟ ජීවත් වන සැලකිය යුතු ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් ද සිටින බව ඇය පෙන්වා දුන්නාය.
අනාගත ප්‍රවණතා
මේ සම්බන්ධයෙන් තව දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මයුරි පෙන්වා දුන්නේ විදෙස් ගත පුරවැසියන්ට දේශීය මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවසථාව ලබාදීම අලුත් දෙයක් නොවන බවයි. ඇය ඒ සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවාය, “මේ පිරිස අතර යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල් වල රැකියාව කරන හෝ ස්ථිර ලෙස පදිංචිව සිටින පිරිස ද්විත්ව පුරවැසියන් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගෙන් බහුතර පිරිසක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය දිගටම පවත්වා ගන්නවා. ඒක අපිට පමණක් පොදු තත්ත්වයක් නොවෙයි. ලෝකේ බොහෝ රටවල් වල පුරවැසියෝ මේ ආකාරයේ ද්විත්ව පුරවැසිභාවය පවත්වා ගෙන යනවා. ඒ නිසාම වර්තමාන ලෝකයේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විදෙස්ගත සිය පුරවැසියන්ට දේශීය මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දෙනවා. වර්තමානය වන විට මෙය විශේෂ තත්ත්වයක් නොවෙයි, ඉතාම සුලභ තත්ත්වයක්. ඒ වගේම ඒ ඒ රටවල් විවිධාකාරයෙන් සිය විගමණික පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා තිබෙනවා”
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන පසුබිම තුළ තරුණ ප්‍රජාවෙන් අති බහුතරයක් විදෙස් ගත වීම අපේක්ෂා කරන බව සමීක්ෂණ ගණනාවකින් හෙළිකර ගෙන ඇත. උගත් තරුණ ප්‍රජාව අතර විදෙස් ගත වීමේ අපේක්ෂාව ඉහළම තලයක පවතින අතර වෘත්තිකයින් ද විදෙස් ගත වීමේ සිහින දකින ලැයිස්තුවේ ඉහළින්ම සිටී. මෙවැනි පසුබිමක් සහ ප්‍රවණතාවක් තුළ අනාගතයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඔවුන් වාසය කරන රට තුළ දීම මවුබිමේ පැවැත්වෙන මැතිවරණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම බැහැර කළ නොහැකි අවශ්‍යතාවක් බවට පත්වනු ඇති බව නිසැක බව ද මයුරි පෙන්වා දුන්නාය.
පුරවැසියෙක් යනු කවුද ?
“නමුත් මේ ගැන කතා කරන කොට කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුයි. මගේ අදහස අනුව, මවුබිමෙන් බැහැරව ජීවත් වන, රැකියා කරන, අධ්‍යාපනය ලබන, දේශපාලන රැකවරණය ලබන, අදාළ රටේ පුරවැසිභාවය හිමි, සිය පවුල සමඟ ජීවත් වන යනාදී සියලු දෙනාටම මවුබිමේ මැතිවරණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු ද ? කියන ප්‍රශ්නය තිබෙනවා. නීතිය අනුව ඡන්ද බලය හිමි වෙන්නේ අදාළ රටේ පුරවැසියන්ට පමණයි. පුරවැසියෙක් කියන්නේ කවුද ? ඒ රටේ ජීවත් වෙන, බදු ගෙවන, සම්පත් පාරිභෝජනය කරන, ආර්ථික වර්ධනයට සිය දායකත්වය ලබා දෙන පුද්ගලයෙක්. ඉතිං මේ රටේ ඉපදිලා, සියලුම සම්පත් පාරිභෝජනය කරලා, අධ්‍යාපන, සෞඛ්‍ය ආදිය සියලුම පොදු පහසුකම් ලබා ගෙන පස්සේ විදේශගත වෙලා, ඒ රටට නම් සියලුම දේවල් කරන්නේ, සේවය කරන්නේ, බදු ගෙවන්නේ සහ පවුල සමඟ ජීවත් වෙන්නෙත් ඒ රටේම නම්, අපට ඇති වන ප්‍රශ්නය තමයි ‘එවැනි පුද්ගලයෙක්ට මවුබිමේ ඡන්ද අයිතිය ලබාදිය යුතු ද ?’ කියන කාරණය. මේක ටිකක් මතභේදාත්මක කතාවක් විය හැකියි. නමුත් ඇත්ත කතාව ටිකක් වෙනස්. මේ ද්විත්ව පුරවැසියෝ බොහෝ දෙනෙක් ලංකාවේ පුරවැසිභාවය ලබා ගන්නේ, පුරවැසිභාවය අත් නොරින්නේ ඇයි ?. ඒකට හේතුව තමයි ඔවුන්ගේ වත්කම්, දේපොළ ලංකාවේ තිබෙනවා. ඔවුන් ඒවාගෙන් අදායම් ලබා ගන්නවා. නමුත් ඔවුන් ඒ මුදල් වියදම් කරන්නේ, බදු ගෙවන්නේ, සේවය ලබා දෙන්නේ ලංකාවට නොවෙයි. දැන් ජීවත් වන රටට. මේක මැදපෙරදිග, දකුණු කොරියාව ආදි රටවල රැකියාවක් කරලා ඒ මුදල් ලංකාවට එවන පුද්ගලයින්ට අදාළ නොවන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ද්විත්ව පුරවැසියන්ට ඡන්දබලය ලබාදීමේදී ඔවුන්ගේ පසුබිම ගැන ගැඹුරින් සොයා බැලිය යුතුයි. විශේෂයෙන් ඔවුන් ලංකාවට මුදල් එවනවා ද, බදු ගෙවනවාද , ආර්ථික සංවර්ධනයට දායක වෙනවා ද ? කියන කාරණා සොයා බැලිය යුතුයි” මයුරි සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් පෙන්වා දුන්නාය.
මෙහිදී මයුරි යළි යළිත් අවධාරණය කළේ අදාළ පුද්ගලයින් මවුබිමේ සමාජ, ආර්ථික හා දේශපාලන කාරණාවලට කොතරම් දුරට සම්බන්ධ වන්නේ ද යන්න සොයා බැලීම අතිෂය වැදගත් බවයි.
“එහෙම නැති පුද්ගලයෙක්ට ලංකාවේ මැතිවරයකදී ඡන්දය ප්‍රකාශ කරලා ලංකාවේ සිදුවන දේවල් ගැන තීන්දු – තීරණ ගන්න අයිතියක් ලබාදිය යූතු ද කියන ප්‍රශ්නය තමයි මම මුලින්ම මතු කරන්න කැමති” මයුරි සිය ස්ථාවරය අවධාරණය කළාය.
මැදපෙරදිග අපේ කතුන්
ද්විත්ව පුරවැසියන්ට ඡන්ද හිමිකම ලබාදීමේ වැදගත්කම දැඩිව ප්‍රශ්න කළ යුරි මැදපෙර කලාපයේ රැකියා කරන ශ්‍රී ලාංකික කතුන්ට සහ පුරුෂයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියාය.
“මැදපෙරදිග රැකියා කරන සියලුම ශ්‍රී ලාංකිකයින් හම්බ කරන සෑම ඩොලරයක්ම මවුබිමට එවනවා. ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම ඉන්නේ මවුබිමේ. ඔවුන් යැපෙන්නේ විගමණික ආදායම්වලින්. මේ පසුබිම තුළ මැද පෙරදිග සේවය කරන සියලුම ශ්‍රී ලාංකයින්ට ඡන්ද බලය ලබාදිය යුතුයි. මොකද ඔවුන් රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛතම පිරිස. අවසානයේ දී ඔවුන් යළි මවුබිමට එනවා. මෙහි ජීවත් වෙනවා. විදේශ රටක රැකියාව කළත් ඔවුන්ට නම් මවුබිම ගැන තීන්දු – තීරණ ගන්න අවස්ථාව ලබාදිය දිය යුතුයි. ඒකට ගැටලුවක් මතු වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ” යැයි දේශපාලන විශ්ලේෂිකා මයුරි රණසිංහ පෙන්වා දුන්නාය.
මෙහිදී ලසන්ත යොමු කළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් මයුරි පෙන්වා දුන්නේ නීතිය කෙසේ වුවත් සිය රටට කිසිම දායකත්වය ලබා නොදෙන, වසර ගණනාවක් මවුබිමට නොපැමිණි ද්විත්ව පුරවැසියන්ට ඡන්ද බල අයිතිය ලබාදීම නිවැරදි නොවන බව තම ස්ථාවරය බවයි. අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ හැකි බව ද ඇය කීවාය.
“මගේ අදහස නම් දිව්තිව පුරවැසියන්ට ඡන්දය ලබාදීමට අවස්ථාව ලබාදීමට පියවර ගන්නේ නම් යම් යම් නිර්ණායක තිබිය යුතුයි. කොන්දේසි තිබිය යුතුයි. එවැනි තත්ත්වයක් තුළ මේක ගැටලුවක් වෙන එකක් නැහැ” ඇය අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නාය.

දුරස්ථව ඡන්දය ප්‍රකාශ කිරීම ගෝලීය ප්‍රවණතාවක් – ගයාෂි ජයසිංහ – ලර්න් ඒෂියා ආයතනයේ හිටපු පර්යේෂිකා
තීරණාත්මක මැතිවරණයකදී, එනම් ළඟ ළඟ මැතිවරණ සටනක් පවතින අවස්ථාවක දී ‘විදෙස් ගත පුරවැසියන්ට ලංකාවේ මැතිවරණයේදී තීරණාත්මක සාධයක් විය හැකි ද ?’ යන්න අවධානයට ලත යුතු කාරණයකි. එහෙත් එය තීරණය වන්නේ කාරණා ගණනාවක එකතුවකිනි. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථිරව වාසය කරන හෝ රැකියාවක් කරන හෝ අධ්‍යාපන කටයුතු කරන මෙරට පුරවැසියන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට ඇති හැකියාව මත ඔවුන්ට මැතිවරණයකට කොතරම් තීරණාත්මක සාධයක් විය හැකි ද යන්න තීරණය වේ.
දැවැන්ත විගමණික ප්‍රජාවක්
“ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වෙනවා. ඔවුන්ගෙන් විශාල පිරිසක් මවුබිමේ මැතිවරණයකදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටිනවා. නමුත් අප සතු මූල්‍ය හා මානව සම්පත් සමඟ හිමින් ගමනක් තමයි යන්න වෙන්නේ. මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියක් නිවැරදිව හා කාර්යක්ෂම කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් සම්පත් අප සතුව නැහැ. ඒ අනුව ඉදිරියේ දී ගන්නා වූ පියවර අනුව තමයි විගමණික ප්‍රජාවගේ ඡන්දයේ ශක්තිය හා වටිනාම තීරණය වෙන්නේ” කතිකාවට සිය ප්‍රවේශය සනිටුන් කරමින් ලර්න් ඒෂියා ආයතනයේ හිටපු පර්යේෂිකාවක වන ගයාෂි ජයසිංහ පැවසුවාය.
විදේශගත පුරවැසියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට මෙතරම් වෑයම් කරද්දී, මෙරට තුළ ජීවත් වන විශාල පිරිසක් ද සිය ඡන්ද ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් පහසුකම් හා අවස්ථාව නොමැතිව පසුවන බව සංවාදය මෙහෙයවන ලසන්ත ද සිල්වා පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ ආයෝජන කලාප වල සේවය කරන පිරිස් සහ විශේෂයෙන් මෑන් පවර් ආයතනවල සේවය කරන පුද්ගලයින් මෙහිදී දැඩි අසාධරණයට ලක්ව සිටින බවයි.
“වෘත්තීය සමිති වරක් මා සමඟ කිව්වා 40,000කට අධික පිරිසක් මේ ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමිව සිටිනවා කියලා. ලංකාව තුළ ජීවත් වන මේ පිරිසටවත් හරියට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නැති විට විදෙස්ගත පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය තාක්ෂණය ගැන කතා කිරීම ගැන ” ලසන්ත මෙහිදී ගයාෂිගෙන් ප්‍රශ්න කළේය.
දුරස්ථ ඡන්දය ප්‍රකාශ කිරීම
“විවිධ හේතු මත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු හෝ අවස්ථාව නොලැබෙන පුද්ගලයින් ගැන වර්තමානය වන විට, විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ නිසාම එවැනි පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට ගත හැකි පියවර ගැන ලොකු අවධානයක් තිබෙනවා. කෙසේ වෙතත් එවැනි ක්‍රමවේදයක් දියුණු වුණොත්, නිර්මාණය වුණොත් ඒක අපි මේ සාකච්ඡා කරන දෙපාර්ශ්වයටම වැදගත් වෙනවා” ගයාෂි කීවාය.
තැපැල් ඡන්ද හිමිකම පුළුල් කිරීම
වර්තමානය වන විට ‘දුරස්ථ ඡන්දය’ ප්‍රකාශ කිරීමේ ක්‍රම දෙකක් පවතින බව ඇය පෙන්වා දුන්නාය. ඒ අනුව තැපැල් ඡන්ද ක්‍රමය සහ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම වර්තමානය වන විට සිදුවේ. අපට ඉතා හුරු පුරුදු තැපැල් ඡන්දය ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් භාවිතා කිරීමේදී තාක්ෂණික ගැටලු කිහිපයක් උද්ගත වුව ද ඒවා විසඳා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව ද ගයාෂි සඳහන් කළාය.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම ඇත්තේ රාජ්‍ය සේවයේ නිරත ඡන්ද දායකයින්ට පමණක් බව ලසන්ත සිහිපත් කළ අතර ගයාෂි යළි අවධාරණය කළේ දුරස්ථ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය තව දුරටත් පුළුල් කරන්නේ නම් රාජ්‍ය සේකයින්ට පමණක් හිමි තැපැල් ඡන්ද අයිතිය තව දුරටත් පුළුල් කරමින් පුද්ගලික අංශය සහ තවත් අදාළ පුද්ගලයින්ට (රෝගීන්ට) එම අවස්ථාව ලබාදීමට හැකියාවක් පවතින බවයි.
“එක්සත් ජනපදය, කැනඩාව වැනි රටවල් වල තැපැල් ඡන්දය ඉතාම පුළුල් ලෙස භාවිතා කරනවා. කිසියම් පිළිගත හැකි හේතුවක් නිසා ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ඔ්නෑම ඡන්දදායකයෙකුට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙවැනි රටවල අවස්ථාව තිබෙනවා” ඇය ලසන්තගේ ප්‍රශ්නයට පිළිතුක් ලෙස පැවසුවාය.
එස්තෝනියානු අත්දැකීම
අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීම ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන බව ගයාෂා කීවාය. වර්තමානය වන විට එස්තෝනියාව අන්තර්ජාල ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඉහළම සාර්ථකත්වය ලබා ගෙන ඇති බවත් ඇය කීවාය.
“එස්තෝනියාව 2005 සිට ඔවුන්ගේ පුරවැසියන්ට ලෝකයේ ඔ්නෑම තැනක සිට සිය ජාතික හැඳුනුම්පත හෝ විද්‍යුත් හැඳුනුම්පත භාවිතා කරලා, ඉතාම ආරක්ෂිතව ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රම නිර්මාණය කරලා තිබෙනවා. 2019 එස්තෝනියානු මැතිවරණයේ ඡන්දවලින් 44%ක් මේ ක්‍රමය හරහා ප්‍රකාශ කර තිබෙනවා.2023 මහ මැතිවරණයේ දී අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 50%කට වඩා ඉහළ අගයක තිබුණා” යැයි කී ගයාෂා මෙම ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය ද දීර්ඝව පැහැදිලි කළාය.
“මේ ක්‍රමය හරහා ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයාගේ අනන්‍යතාවය පසුව සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒ වගේම පද්ධතියේ විශ්වාසය සහ රහස්‍යභාවය තහවුරු වෙලා තිබෙනවා” ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

වඩාත්ම පහසු සහ නූතන ක්‍රමය Proxy voting ක්‍රමයයි – මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ්
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධ දේශපාලනික වැදගත්ම යළි යළි අවධාරණය කෙරෙන අතර ඒ හා සම්බන්ධ තාක්ෂණික හැකියාවන් ගැන ද අවධානය යොමු වේ. එහෙත් මෙහිදී බොහෝ විට අවධානය යොමු නොවන ප්‍රශ්නයක් වන්නේ මේ ‘මේ ප්‍රයත්නය කොතරම් ප්‍රයෝගික ද ?’ යන්න.
මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහතාට අනුව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් 90%ක් පමණ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කරන අතර ඉතිරි 10%ක පිරිස, එනම් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ප්‍රකාශ කරති. එහෙත් ඡන්ද පොළට ගිය ද තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුරවැසියන් පිරිසක් ද අපේ රටේ සිටිති.
අපි නොදන්න ඡන්ද නීති
“ඡන්ද පොළට ගියත් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි මේ අය ස්ථානභාර නිලධාරියාට කියනවා තමන් නම් කරන පක්ෂයට, සලකුණට හෝ පුද්ගලයාට තමන්ගේ ඡන්දය සලකුණු කරලා දෙන්න කියලා. ඊට පස්සේ තවත් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව මේ ඡන්දය සලකුණු කරලා පෙට්ටියට දානවා. මේ අතර තවත් පිරිසක් ඉන්නවා, යම්කිසි අබාධිත පුද්ගලයෙක් හෝ වයස්ගත පුද්ගලයෙක්ට තවත් පුද්ගලයෙක් සමඟ පැමිණ ඡන්දය සලකුණු කරන්න පුළුවන්. ඒත් එවැනි අවස්ථාවක අදාළ පුද්ගලයාගේ අබාධිතභාවය තහවුරු කරලා ග්‍රම නිලධාරිවරයාගේ ලිපියක් ලබාගත යුතුයි. ඒ වගේම ස්ථානභාර නිලධාරිවරයාගේ දෘශ්‍ය පරීක්ෂාව යටතේ තමයි අදාළ බාහිර පුද්ගලයාට ඡන්දය සලකුණු කරන්න වෙන්නේ. ඒ වගේම 1988 ගෙනා සංශෝධනයක් අනුව, යම්කිසි ඡන්ද දායකයෙකුට අදාළ දිනයේ දී ඡන්ද පොළට යාමට සාධාරණ බියක් තිබෙනවා නම්, ඔහුවට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කළ හැකියි. පසුගිය යුධ සමයේ මේක බහුලව සිදු වුණා. විශේෂයෙන් අවතැන් වූ පුද්ගලයින්ට මේ ක්‍රමය හරහා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණා. මට මේ සම්බන්ධ අත්දැකීම් තිබෙනවා” මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහතා කතිකාවට ආරම්භක ප්‍රවේශයක් ගනිමින් කීවේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ ක්‍රමය තුළ උද්ගත විය හැකි ඔ්නෑම ගැටලුවකට අදාළ විසඳුම් ලබා දෙන නීති මැතිවරණ පනත් තුළ පවතින බවයි.
රටින් බැහැර ඡන්දායකයා කවුද ?
රට තුළ ජීවත් වන පුරවැසියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ දී උද්ගත වන ගැටලු විසඳීමට නීති තිබුණ ද ‘රටින් බැහැර ජීවත් වන ඡන්දදයාකයා කවුදැයි’ හඳුනාගත යුතු බව මොහොමඩ් මහතා මෙහිදී සඳහන් කළේය. මෙහිදී ඡන්ද බලය හිමිවිය යුතු හා හිමිව තිබෙන විගමණිකයින් ගැන පැහැදිලි කරමින් ඔහු කීවේ, මැදපෙරදිග රටවල සේවය කරන මෙරට පුරවැසියන්ට මෙරට ඡන්ද හිමිකම ගැන කිසිම ගැටලුවක් නොමැති බවයි.
“තවත් පිරිසක් ඉන්නවා, ඔවුන් යම්කිසි රටකට සංක්‍රමණය වෙලා අදාළ රටේ පුරවැසිභාවය ලැබෙන තෙක් දීර්ඝ කාලයක් බලාගෙන සිටි පසුව අදාළ රටේ පුරවැසිභාවය ලබා ගන්නවා. නමුත් අදාළ රටේ පුරවැසිභාවය ලැබෙන තෙක් ඔවුන් ද අපේ රටේ පුරවැසියන් ලෙස සලකනවා, ඔවුන්ටත් මෙරට මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන්. තවත් කණ්ඩායමක් (තෙවැනි) සිටිනවා, ඔවුන් යම්කිසි රටකට සංක්‍රමණය වෙලා අදාළ රටේ පුරවැසිභාවය ලබා ගන්නවා, ඊට පසු ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවෙයි. නමුත් නීතියේ හැටියට ඔවුන්ටත් ද්විත්ව පුරවැසිභාවය ලබා ගෙන නැවත ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන්. එවැනි ද්විත්ව පුරවැසියන්ටත් ඡන්ද බලය හිමිවෙනවා. මම ඉහතින් දක්වන ලද, මේ රටේ පුරවැසියභාවය අතහැර ගිය පුද්ගලයින්ට හැර විගමණික පුරවැසි කණ්ඩායම් තුනටම මේ රටේ ඡන්දදායකයෙක් ලෙස ලියාපදිංචි වී සිටිනවා නම් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ.
- ද්විත්ව පුරවැසි භූමිකාව
ද්විත්ව පුරවැසියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබුණ ද මැතිවරණවලට ඉදිරිපත් වීමට නොහැකි බව පෙන්වා දුන් මොහොමඩ් මහතා ද්විත්ව පුරවැසියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග ද පැහැදිලි කළේය.
“මේ ද්විත්ව පුරවැසියන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවටම පැමිණිය යුතුයි. මොකද අපි විදේශ රටවල තානාපති හෝ මහ කොමසාරිස් කාර්යාවල ඡන්ද මධ්‍යස්ථාන ආරම්භ කරලා නැහැ. ඒ වගේම ඒක පහසුත් නැහැ. ලක්ෂ 25ක පමණ පිරිසක් විදේශගත වෙලා ඉන්නවා. නිශ්චිත දත්ත නැති වුණත් මේ අයගෙන් ලක්ෂ 18ක් පමණ තවමත් ශ්‍රී ලාංකික පුරවැසියන් කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙවැනි අති විශාල පිරිසක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සහ ඒවායේ කටයුතු වෙනුවෙන් නිලධාරීන් පත් කර යවන්නත්, ඡන්ද පත්‍රිකා යැවීමත් ඉතාම අසීරු වැඩක්. ඒක ලංකාව වාගේ දුප්පත් රටකට ඔරොත්තු දෙන එකක් නොමෙයි. ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. මේ සියලුම පුරවැසියන්, ඒ කියන්නේ ලියපදිංචි සියලුම පුරවැසියන් වෙනුවෙන් මැතිවරණ කොමිෂම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා, අදාළ ඡන්ද මධ්‍යස්ථානවලට යවනවා. අපි ලියාපදිංචි ඡන්ද දායකයින් 100%ටම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා අදාළ ඡන්ද මධ්‍යස්ථානවලට යොමු කරනවා. මේ 100%ම ඡන්ද ප්‍රකාශ කළා නම් ඒවා ගණන් කරන්න අවශ්‍ය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන හදනවා, නිලධාරීන් පත් කරනවා. ඒ නිසා සියලුම වියදම් අපි දැනටමත් දරලා තිබෙනවා. එවැනි අවස්ථාවක විදේශගත ශ්‍රී ලාංකකයින්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න තවත් විදයමක් කිරීම අපට දරා ගන්න අසීරුයි” මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහතා දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
කළ යුතු කුමක්ද
මෙහිදී මොහොමඩ් මහතා පෙන්වා දුන්නේ අදාළ ගැටලුව විසඳා ගැනීමට මේ වන විට ද ක්‍රියාත්මක වන, පිළිගත් ක්‍රමවේදයක් පවතින බවයි.
“ඒකට කියන්නේ Proxy voting කියලා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කෙනෙක් මගින් ඡන්දය ප්‍රකාශ කිරීම, තමා වෙනුවෙන් ආදේශකයෙක් පත් කිරීම. තමාගේ ඡන්දය තමා වෙනුවෙන් වෙන කෙනෙකු හරහා ප්‍රකාශ කිරීමට බලය දීමයි මෙහිදී සිදුවෙන්‌නේ. බෙල්ජියම, ස්වීඩනය වැනි රටවල පවා මේ ක්‍රමය තිබෙනවා, සමහර අප්‍රිකානු රටවල් පවා මේ Proxy voting ක්‍රමය පිළිගන්නවා” මෙම ක්‍රමය හරහා ඡන්දය ලියාපදිංචි කරන ආකාරය ද මෙහිදී මොහොමඩ් මහතා විසින් දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
සටහන – තුෂාල් විතානගේ














