
මගේ අදහස අනුව ආණ්ඩුවක පළමු අවුරුද්ද බරපතළ ලෙස විවේචනය කිරීම සුදුසු නැහැ. ජනතාවගේ බහුතර මනාපය අනුව පත් වුණ ආණ්ඩුවකට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට, ගෙවී ගිය කාලය තුළ ජනතාවට දැනෙන දෙයක් වුණා ද කියලා ජනතාවගෙන්ම තමයි අහන්න වෙන්නේ.
- මේ වන විට ඔබ දේශපාලනිකව කුමන කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා ද ?
මම එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා වශයෙන් කටයුතු කරමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි දේශපාලන සැලසුම්වලට අදාළ කටයුතු කරනවා. ඒ වගේම ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙස වෘත්තීය සමිති කටයුතු කරනවා. කොහොම වුණත් වර්තමානය වන විට දේශපාලන පක්ෂ අතරවත් ජනතාව අතරවත් දේශපාලන ගැන ලොකු උනන්දුවක්, උද්යෝගයක් නැහැනේ. අපි බලාගෙන ඉන්නවා, එච්චරයි.
- ජාතික සේවක සංගමයේ කටයුතු කොහොමද ?
එක්සත් ජාතික පක්ෂයේ නොවන ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ ජාතික සේවක සංගමය බරපතළ විදිහට පසුබෑමට ලක්වෙනවා. මේ පසුබිම තුළ ජාතික සේවක සංගමයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ එය ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලුතින් සමාජිකයින් විශාල පිරිසක් බඳවා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම අපේ සාමාජිකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න, යම්කිසි දේශපාලන ගැටලුවක් හේතුවෙන් රැකියාව අහිමි වුණොත් මාස හයක් ගතවන තෙක් වැටුප ගෙවීමට සහ අවශ්‍ය අවස්ථාවල නීතිඥ සහාය දෙන්න පූර්ණ කාලීන නීතිඥ මඬුල්ලක් අපි පත්කරලා තිබෙනවා. ජාතික සේවය සංගමය යළි ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශාල වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
- ආණ්ඩුවේ මධු සමය ඉවරයි කියලා විපක්ෂය කියනවා. ඔබට අනුව ආණ්ඩුවේ ගෙවී ගිය කාලය කොහොමද ?
මගේ අදහස අනුව ආණ්ඩුවක පළමු අවුරුද්ද බරපතළ ලෙස විවේචනය කිරීම සුදුසු නැහැ. ජනතාවගේ බහුතර මනාපය අනුව පත් වුණ ආණ්ඩුවකට නිදහසේ වැඩ කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. නමුත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට, ගෙවී ගිය කාලය තුළ ජනතාවට දැනෙන දෙයක් වුණා ද කියලා ජනතාවගෙන්ම තමයි අහන්න වෙන්නේ.
- පුනරුද ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ අපූරුවට ඉදිරියට ගෙන යන බවට විපක්ෂ කරන චෝදනා ගැන මොකද හිතෙන්නේ ?
වත්මන් ආණ්ඩුව අපි ගෙන ගිය වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම ගැන අපි නම් සතුටු වෙනවා. අපි ගෙන ගිය වැඩපිළිවෙළ හැර වෙනත් සාර්ථක වැඩපිළිවෙළක් නැහැ, ඒක තමයි ප්‍රයෝගික ඇත්ත. අපි දිගින් දිගටම ප්‍රකාශ කළ බොහෝ දේවල් ඉතාම නිවැරදි බව මේ ආණ්ඩුව දැන් වටහා ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ‘ආණ්ඩුවට ව්‍යාපාර කළ නොහැකි බව’ ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා. ආණ්ඩුව යථාර්ථය තේරුම් ගෙන ඉදිරියට යාම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා.
- ඔබ එයින් අදහස් කරන්නේ වත්මන් ආණ්ඩුව සාර්ථක ගමනක් යන බව ද ?
නැහැ, මම මුලින් කිව්වා වාගේ ගැටලු ගණනාවක් තිබෙනවා. ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ න්‍යාය පත්‍රයක් ආණ්ඩුවට නැති බව පැහැදිලි පේනවා. අලුත් නිර්මාණාත්මක වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ඉදිරියේ දී කුමක් වෙයි ද කියලා බලා ඉන්න එක තමයි හොඳම දේ.
- ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා ජනාධිපතිවරයා කිව්වත් ඔහුගේ ක්‍රියාකාරීත්වයේ පැහැදිලි පරස්පරතා තිබෙනවා නේද ?
ඔව්, දිගින් දිගටම පාඩු ලබන, සුදු අලියෙක් වැනි ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගටම රාජ්‍ය පාලනය යටතේ පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයා පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 2000ක් ලබා දුන්නා. ඒ තරම් මුදලක් දුන්නත් 2025 දී ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 750ක් පාඩු ලබා තිබෙනවා. මේ තත්ත්වය 2026 දීත් වෙනස් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් පාඩු ලබන බව කියමින් ලක් සතොස අලෙවි සැල් 100ක් පමණ වසා දැමීමට ආණ්ඩුවට පියවර ගනිමින් තිබෙනවා. මම හිතන්නේ සතොස වැනි ආයතන රැක ගත යුතුයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ බොහෝ වැඩවල පැහැදිලි පරස්පරතා තිබෙනවා. ඒක මේ ආණ්ඩුවට අමුතු දෙයක් නෙවෙයි.
- ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිතරම කියනවා ඔවුන් භාර ගත්තේ අපරාධ රාජ්‍යක්, බංකළොත් වුණ අඳුරු, මූසල රටක් කියලා. මේක බරපතළ චෝදනාවක් නේද ?
හරිනම් මේ කතාව කියන්න ඔ්නෑ හිටපු ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුම නම් භාර ගත්‌තේ බංකලොත් රටක්, කිලෝ මීටර් ගණන් පෝලිම් තිබුණ රටක්, පෝලිම්වල මිනිස්සු මිය ගිය රටක්, සම්පූර්ණයෙන්ම අවුල් වුණ ජන ජීවිතයක් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් පිරුණු රටක්, අරාජික රටක්. කිසිම දේශපාලන පක්ෂයක් භාර ගන්න බිය වුණ රටක්. ඒත් 2024 ජනාධිපතිවරණයෙන් පසු අපි අනුර කුමාර දිසානායක මහතාට භාර දුන්නේ ඔහු චෝදනා කරන ආකාරයේ රටක් නොවන බව ජනතාව දන්නවා. අදත් රට දුවන්නේ ඒ ශක්තියෙන් සහ වැඩපිළිවෙළ මතයි. නමුත් ඔවුන් කියන ඒ රට දැන් ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබෙන බව ජනතාව කියනවා.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය හෝ අධ්‍යාපන ප්‍රතිපත්තිය විවේචනය කරන්න මම කැමැති නැහැ. නමුත් වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යහපත් දේවල් වගේම අයහපත් දේවල් ද තිබෙන බව පේනවා. මේ ප්‍රතිසංස්කරණ කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා අපට පොඩි බයක් තිබෙනවා.

- ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස ඔබට මේ ගැන යම් අදහසක් තිබෙනවාද ?
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස වත්මන් අධ්‍යාපන අමාත්‍යවරිය හෝ අධ්‍යාපන ප්‍රතිපත්තිය විවේචනය කරන්න මම කැමැති නැහැ. නමුත් වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යහපත් දේවල් වගේම අයහපත් දේවල් ද තිබෙන බව පේනවා. මේ ප්‍රතිසංස්කරණ කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා අපට පොඩි බයක් තිබෙනවා. පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීම වාගේ දේවල් ප්‍රායෝගික නැහැ. පාසල් කාලය ගැන තීන්දු අරගෙන තිබෙන්නේ දීර්ඝ ලෙස කරුණු විමසා බැලීමකින් පසුවයි. පාසල් කාලය දීර්ඝ කිරීම ළමයින්ට පීඩාවක් වගේම ඔවුන්ගේ ළමා කාලය තව දුරටත් සීමා කිරීමක්. මේ තීන්දුව නිසා නිමක් නැති ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධ බොහෝ වැරදි තිබෙන බව අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් මා සමඟ පවසා තිබෙනවා. ආණ්ඩුවට වැඩි කාලයක් නැති නිසා ඉදිරි දේවල් කොහොම සිද්ධ වෙයි ද කියලා බලා ඉන්න පුළුවන්. ‘ඉදිරියේ දී මොකක් ද වෙන්නේ ?’ කියලා අපි බලමු.
- පළාත් සභා මැතිවරණය කල් දැමීමේ ඍජු වගකීමක් එක්සත් ජාතික පක්ෂයට තිබෙනවා. ඉදිරි පළාත් සභා මැතිවරණය ගැන මොකද හිතෙන්නේ ?
පොරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි නේ. ඒ වගේම අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටිය දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියා. ඔවුන් ඒ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාවට නැංවිය යුතුයි. ඔවුන් අතෙයි දැන් බලය තිබෙන්නේ.
- මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වෛද්‍යවරු, නීතිඥයින්, ගුරුවරු ඇතුළු වෘත්තිකයින් විශාල සහායක් ලබා දුන් බව රහසක් නොවෙයි. ඒ ජන පදනම දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා හිතෙනවාද ?
වෘත්තිකයින් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව හිතන විදිහ වෙනස් කියලා මට හිතෙනවා. වෘත්තිකයින් සම්බන්ධයෙන් ආණ්ඩුව කරන බොහෝ දේවල් සුදුසු නැති, ප්‍රායෝගික නැති දේවල්. වෛද්‍යවරුන්ගේ සහ නීතිඥයින්ගේ පාස් එක ගළවන්න කියන කතාව ඇත්තටම හරිම ප්‍රාථමික දේවල්. මේවා කාලයක් තිස්සේ තිබුණ දේවල්, කවුරුත් ඒ ගැන විවේචනය කළේ නැහැ. නමුත් ආණ්ඩුව සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් නොතකා හැර තිබෙනවා. වෘත්තිකයින්ට නිගරු නොකළ යුතු බවයි මගේ අදහස.

- ගණේමුල්ල සංජීව නම් පුද්ගලයා ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකපිට පසුගිය දා අත්අඩංගුවට ගත් නීතිඥවරියට එරෙහිව නඩු පවරා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවට නීතිඥ සංගමය චෝදනා කරනවා. නීතිඥයෙකු ලෙස ඔබ මේ ගැන මොකද හිතන්නේ ?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් වැඩියෙන්ම බැට කෑ පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් මේ පනත අහෝසි කිරීම වෙනුවෙන් එදා සිට පෙනී සිටි පක්ෂයක්. ඒ වගේම පසුගිය මැතිවරණයේ දී මේ පනත අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නා. නමුත් ආණ්ඩුව මේ පොරොන්දුව නොතකා හැර තිබෙනවා. ඉදිරියේදී මේ පනත දේශපාලන විරුද්ධවාදීන් මර්ධනයට යොදා ගැනීමට හැකියාවක් ද තිබෙනවා. අපේ ස්ථාවරය වන්නේ පොරොන්දු වූ ආකාරයට මේ පනත අහෝසි කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණට මේ පනත භාවිතා කරන්න සදාචාරාත්මක අයිතියක් පවා නැහැ.
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ බරපතළ අර්බුදයක් තිබෙනවා කියලා පක්ෂය කියනවා. ඔබ මේ ගැන මොකද කියන්නේ ?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතාම පැහැදිලිවම ආරක්ෂාවක් තිබිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. ඔවුන් බොහෝ විට තීරණාත්මක ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනවා, තීන්දු – තීරණ ගන්නවා. මේ ඇතැම් දේවල් ඔවුන්ට අභියෝගාත්මක වෙන්න පුළුවන්. අපේ රට තාම බටහිර යුරෝපයේ රටක් වෙලා නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ට ප්‍රමාණවත් ආරක්ෂාව ලබාදීම මහ ලොකු ප්‍රශ්නයක් නොකර ගත යුතු බවයි මගේ අදහස.
දේශපාලන මර්ධනයක් ගැන විපක්ෂය බිය පළ කරනවා නේද ?
ඔව්, නීතියට මුවා වෙලා දේශපාලන මර්ධනයක් වෙන බව අපට පැහැදිලිව පේනවා. පසුගිය දිනවල කරළියට ආපු ලොතරුයි මණ්ඩලය සිද්ධිය මේකට පැහැදිලි උදාහරණයක්.
- මෙහිදී ඔබටත් චෝදනා එල්ල වුණා නේද ?
ඔ්ව්, මටත් කිසිම පදනමක් නැති අභූත චෝදනාවකට මුහුණ දෙන්න සිදු වුණා. ලොතරැයි මණ්ඩලය හා සම්බන්ධ සිද්ධියේ දී මම කටයුතු කළේ ඔ්නෑම දේශපාලනඥයෙකු කටයුතු කරන සාමාන්‍ය ආකාරයටයි. මේ සිද්ධියේදී රාජ්‍ය නිලධාරීන් පවා ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
- ඔබ කියන්නේ දූෂිතයින්ට, හොරුන්ට දඬුවම් දෙන්න එපා කියල ද ?
කවුද එහෙම කියන්නේ. අපි කවුරුත් කැමැතියි දූෂණයෙන්, වංචාවෙන් තොර රටකට. ඒත් මේ සටන් පාඨයට මුවා වෙලා දේශපාලන මර්ධනයක් හෝ චරිත ඝාතනයක් සිදු කරනවා නම්, ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න යනවා නම් ඒක කිසිසේත් පිළිගන්න බැහැ. දැන් ආණ්ඩුව යන්නේ මේ පාරේ. මේ ගමන කිසිසේත් යහපත් එකක් නොවෙයි. ඉතාම බිහිසුණු ගමනක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. අල්ලස, දූෂණය, පාතාලය සහ මත්ද්‍රව්‍ය පිටු දැකීමේ නාමයෙන් සිදුවන දේශපාලන මර්ධනයක් කිසිසේත් පිළිගන්න බැහැ. ඒකට යට වෙන්න බැහැ. ඒකට වහාම පරාජය කළ යුතුයි.
- ආණ්ඩුව ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ හරහා ගමේ බලය අල්ලන්න යනවා කියලා විපක්ෂ කරන චෝදනාව ඔබත් පිළිගන්නවාද ?

ජනතා විමුක්ති පෙරමුණේ සංකල්පයක්, සැලසුමක් සහ න්‍යාය පත්‍රයක් තමයි ආණ්ඩුවේ නාමයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් මුලින්ම යෞවන සමාජ වල බලය අල්ලන්න ගියා, ක්ලීන් ශ්‍රී ලංකා හරහා ඒ වැඩේ කරන්න බැලුවා. අන්තිමට මහිලා සමිතියේ සිට තෘණමූල මට්ටමේ සියලුම සංවිධානවල බලය අල්ලා ගැනීමේ පිපාසයක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. ඒකට ආණ්ඩුව සහ ආණ්ඩුවේ ව්‍යාපෘති යොදා ගන්නවා. කිසිම ආණ්ඩුවක් මේ වගේ පහත් තත්ත්වයකට වැටිලා නැහැ. නමුත් දේශපාලන යථාර්ථය මේකට වඩා බොහොම වෙනස්. මුළු රාජ්‍ය සහ සිවිල් සමාජ යාන්ත්‍රණයම පක්ෂ කාඩාර්වරුන්ගෙන් පුරවලා සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා ජනතා විමුක්ති පෙරමුණ හිතනවා නම් ඒක විහිළුවක්. කොපමණ බලය අල්ල ගත්තත් යන්න වෙන වෙලාවට යන්නම වෙනවා. ජනමතයට කන් දෙන්න වෙනවා.
- අරගලය කියා දුන්න පාඩම බොහෝ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් තේරුම් ගෙන නැති බව පේනවා නේද ?
ජනතාවගේ පීඩනය තමයි අරගලය තුළින් එළියට ආවේ. දැන් ඉන්නේ ඉස්සර හිටිය ජනතාව නෙමෙයි. දකුණු ආසියාව මේ වෙනුවෙන් කප් එක දිනලා ඉවරයි. මිනිස්සුන්ගේ නැගිටීම් බොහොම වේගයෙන්, අනපේක්ෂිත ලෙස සිදුවෙනවා. මේ තත්ත්වය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව, ජන මතයට කන් දෙමින් රාජ්‍ය පාලනය ගෙන යනවා මිස හැමදාම බලයේ ඉන්න බලය පොදි බඳින එක ඒතරම් ඥානවත්ත නැහැ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මේ පාඩම කියා දුන්නා.
- ඔබ කියන්නේ ආණ්ඩුවට එරෙහිව ජනමතය ශක්තිමත් වෙනවා කියල ද ?
ඔව්, ඒක වෙන්න පුළුවන්. ආණ්ඩුව ජනතාව දුන්න පොරොන්දු ඉටු කරලා, ජනමතය කන් දෙමින් පාලනය ගෙන ගියොත් ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධ සියලුම දේශපාලන බලවේග එක කඳවුරකට එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවේ පැවැත්මට ඒ තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි කියලා අපි කාටත් තේරෙණවා.
- එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව කරන කොට සිරිකොතට, පක්ෂ මහ ලේකම්ට ඒ තරම් බලයක්, පිළිගැනීමක් තිබුණේ නැහැ නේද ?, ඒත් වර්තමාන ආණ්ඩුවේ පැලවත්තට විශාල බලයක් හා පිළිගැනීමක් තිබෙනවා නේද ?
අපි කිසිම අවස්ථාවක දේශපලනයයි, ආණ්ඩුවයි, පක්ෂ මූලස්ථානයයි එකට පටලවා ගත්තේ නැහැ. අපි පක්ෂ දේශපාලනය වෙනම කළා, ආණ්ඩුව වෙනම කළා. අපි දේශපාලන චරිතවලට ආණ්ඩු බලය ලබා දුන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව වෙනස්. ඔවුන් චීන ක්‍රමය තමයි අනුමනය කරන්නේ. පක්ෂය තමයි ඔවුන්ට කේන්ද්‍රීය හා වැදගත්ම සාධකය වෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව පැලවත්තේ කොටසක් වගේ පේන්නේ.
- වර්තමානය වන විට අල්ලස් කොමිෂමේ උණුසුම අඩුවෙලා කියලා පේනවා නේද ?
අල්ලස් කොමිෂමේ මුල් කාලයේ තිබුණ තත්ත්වය අඩුවෙලා කියලා අපටත් පේනවා. කොමිෂමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි සතුටක් තිබුණත් දැන් එවැනි ධනාත්මක තත්ත්වයක් දකින්න නැහැ. මිනිස්සුන්ගේ විශ්වාසය අඩු වෙලා වාගේ පේනවා.
- එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය යළි එක වහළක් යටට එන්‌නේ කවදාද ?
සාකච්ඡා සිදුවෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා අනාගතයේ දී පක්ෂ දෙකම යළි එක් වෙයි කියලා. පක්ෂ දෙක එකට එකතු වීම හෝ සන්ධානයක් ලෙස එකතු වීම තමයි අපේ බලාපොරොත්තුව. අපි ඒ ගැන ධනාත්මක බලාපොරොත්තුවකින් ඉන්නවා.
සංවාද සටහන – භාතිය බරුකන්ද
උපුටා ගැනීම – රතුඉර 2025 නොවැම්බර් 09 වැනි කලාපයෙනි














