කුණු බක්කියට වැටුණු විපක්ෂයේ විවේචන වල කිසිම වටිනාකමක් අපට හෝ ජනතාවට නැහැ – සමන්මලී ගුණසිංහ, පාර්ලිමන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගය

  • සමන්මලී ගුණසිංහ කියන්නේ කවුද ?, ඔබ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

මම පාර්ලිමේන්තුවට පත්වීමට පෙර පළාත් පාලන ආයතන මන්ත්‍රීවරියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ශිෂ්‍ය දේශපාලනය තුළත්, කාන්තා දේශපාලනය තුළත් වසර 25කට වැඩි කාලයක් සක්‍රීයව කටයුතු කරලා තිබෙනවා.

  • ඔබ දීර්ඝ කාලයක් ශිෂ්‍ය දේශපාලනය කළ කෙනෙක් ලෙස ශිෂ්‍ය දේශපාලනය, විශේෂයෙන් ශිෂ්‍යාවන්ගේ දේශපාලනය ඔබ දැක්කේ කොහොමද ?

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණේ 1994 වසරේ. ඒ කාලේ අපට මූලික ගැටලු කිහිපයක් තිබුණා. පළමු වසරේ ළමයින්ට නේවාසිකාගාර ලැබෙන්නේ නැහැ. සනාතන මණ්ඩලයට රජයෙන් මුදල් වෙන් කර තිබුණට ශිෂ්‍යයින්ට මුදල් වෙන් කරලා තිබුණේ නෑ. පේරාදෙණිය වාගේ තැනක ශිෂ්‍යයින්ට පිට ඉන්න බැහැ. ඒ නිසා ළමයින් බොහෝ අසීරුතාවට පත් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටියා අලුත් ශිෂ්‍යයින්ටත් නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්න කියලා. ඒ වෙනුවෙන් අපි දිගටම විරෝධතා කළා, උද්ඝෝෂණය කළා. පේරාදෙණියට පමණක් නොවෙයි, ඒ කාලේ සියලුම විශ්වවිද්‍යාල වල විශාල ලෙස අඩුපාඩු තිබුණා. අපි විශ්වාස කරන ආකාරයට ශිෂ්‍යයෝ කියන්නේ රටේ ඊළඟ පරම්පරාව, ඔවුන්ට නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදීම රජයක වගකීමක්. ශිෂ්‍යාවන් ලෙස අපේ කාර්යභාරය වුණේ මේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම සහ කටයුතු කිරීමයි. ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කරන අතරතුර පොදුජන දේශපාලනය කළා. විවිධ දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන සමඟ කටයුතු කළා.  පොදුජන අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කළා.

  • ශිෂ්‍යයින්ට දේශපාලනය සුදුසු නැහැ කියලා මතයක් තිබෙනවා නේද ?

නැහැ, අවුරුදු 18ට වැඩි නම් ඔහු පුරවැසියෙක්. පුරවැසියන්ට වගකීමක් තිබෙනවා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට, නායකත්වය ගැනීමට සහ සංවිධානය වීමට. ඒ අයිතියට අභියෝග කරන්න කිසිවෙකුට බැහැ.

  • ඔබ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සම කටයුතු කිරීමේ දී ලබා ගත් අත්දැකීම් මොනවාද ?

මම ශිෂ්‍ය නායිකාවක් ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ ඉතාම සමීපව සහ සක්‍රීයව කටයුතු කළා. ඒ කාලේ මාත් එක්ක ශිෂ්‍යාවන් විශාල පිරිසක් හිටියා. ඔවුන් අදත් අපත් සමඟ යම් යම් දේශපාලන කටයුතු වන සිටිනවා. මාත් එකක එදා දේශපාලනය කළ අය තමයි මේ යුග පෙරළියේ දී ආයතනවල මුලින්ම ඉන්නේ.

  • වර්තමානයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනය, විශේෂයෙන් ශිෂ්‍යාවන්‌ගේ දේශපාලන සහභාගීත්වය ගැන ඔබගේ අදහස කුමක් ද ?

අපේ කාලයෙන් පසු, අපි බලාපොරොත්තු වුණ විදිහටම අවුරුදු දෙක තුනක් ශිෂ්‍ය නායිකාවෝ වැඩ කළා. හැබැයි ඔවුන්ගේ මැදිහත් වීම, නායකත්ව භූමිකාව නිසි ලෙස මතු වුණේ නැහැ., ඒකේ අඩුවක් තිබෙනවා, අපි ඒක දැක්කා. වර්තමානයේදීත් අපි ඒ අඩුව දකිනවා. නමුත් අපි මේක නිවැරදි කළා. අපි කාන්තා සංගමය ලෙස, ‘ගැහැනු අපි එක මිටකට’ අරගෙන ගම්වල සිටි ශිෂ්‍යයෝ, දක්ෂ කාන්තාවෝ තුළින් නැවතත් ශිෂ්‍ය ව්‍යාපාරයේ තිබුණ අඩුව පුරවා ගන්න පුළුවන් වුණා. ශක්තිමත් කාන්තා නායකත්වයක් බිහිකරන්න අපට පුළුවන් වුණා. ඒ වගේම තමයි වර්තමානයේ දී විශ්වවිද්‍යාලවල සිටින සිසුන්ගෙන් බහුතරය ශිෂ්‍යාවන්. නමුත් ඔවුන්ගෙන් දේශපාලන කටයුතුවලට පමණක් නොයෙි කලා කටයුතු ඇතුළු පොදු කටයුතුවලට ප්‍රමාණවත් දායකත්වයක් ලැබෙන්නේ නැහැ. වර්තමානය වන විට විශ්වවිද්‍යාලය තුළත් ‘විභාග මානසිකත්වයක්’ තිබෙන්නේ. එය වෙනස් විය යුතුයි කියලා අපි හිතනවා. විශ්වවිද්‍යාල සිසුන්ට මීට වඩා නිදහසක් තිබිය යුතුයි කියලා මම හිතනවා.

  • කාන්තා මන්ත්‍රීවරියක් ලෙස, විශේෂයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක් ලෙස ඔබ පසුගිය කාලය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

වර්තමාන පාර්ලිමේන්තුව තමයි ලංකාවේ දේශපාලනය ඉතිහාසය තුළ වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව. වර්තමාන පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් 22 දෙදෙනක් සිටිනවා. ඔවුන්ගෙන් 20 දෙනෙක්ම නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය වීම තවත් විශේෂත්වයක්. මේ තත්ත්වය තුළ ආණ්ඩු බලය දිනා ගත්තා හා සමාන ජයග්‍රහණයක් කාන්තා අපි වාර්තා කර තිබෙනවා. මෙහි ඇති වැදගත්කම තමයි, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ 76 වසරක් මේ රට පාලනය කලත් කිසිම දේශපාලන පක්ෂයකට ජාතික ජන බලවේගය තරම් කාන්තා නියෝජනයක් තහවුරු කරන්න නොහැකි වුණා. අප ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තිබ්බා.

අපි අපේක්ෂා කළ ආකාරයෙන් කටයුතු කළා. ඉතිහාසයේ පළමු වරට ‘කාන්තා කොමිෂමක්’ පත් කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඊට අමතරව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අඩු පහසුකම් සහිත දරුවන්ට රුපියල් 6000ක් වෙන් කරන්න අපට පුළුවන්කම ලැබුණා. සිඟමනේ යෙදෙන දරුවන් වෙනුවෙන් සහ පාසල් නොයන දරුවන් වෙනුවෙන් වැඩසටහනක් අපි ආරම්භ කළා. ඒ වගේම දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් අලුත් නීති සම්පාදනය කළා, ඇතැම් නීති සංශෝධනය කළා.  ග්‍රාමීය මට්ටමෙන් කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා.

  • මන්ත්‍රීවරියන් ලෙස ඔබලා සාර්ථක ද ?

පැහැදිලිවම, පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අග්‍රමත්‍යතුමිය, සරෝජා පෝල්රාජ් කැබිනට් අමාත්‍යතුමිය වගේම, කෞෂල්‍ය ආරියරත්න නියෝජ්‍ය අමාත්‍යතුමිය ඇතුළු අපි සියලු දෙනාම සාර්ථකයි. අපි පාර්ලිමේන්තු කමිටු සහ කාරක සභා නියෝජනය කරනවා, කාරක සභාපතිවරු ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තු විවාදවලදී ඉතාම සක්‍රීයව කටයුතු කරනවා, ජනමාධ්‍ය සමඟ ඉතාම සමීපව කටයුතු කරනවා. මේ අතර ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ද  කළ හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. සාම්ප්‍රදායික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ පටු භූමිකාව ඉක්මවා ගිය ඉතාම පුළුල් හා නිර්මාණශීලී භූමිකාවක් අපි ඉටු කරනවා. ඒ වගේම තමයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා අපි සමහර විට මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා ව්‍යවස්ථාදායකය තුළත්, ඉන් පිටටත් ඉතාම සාර්ථකව කටයුතු කරන මන්ත්‍රීවරියන් 20ක් බිහිකර ගන්න ජාතික ජන බලවේගයට පුළුවන් වුණා.

  • පසුගිය කාලය තුළ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකිද ?

අපි අපේක්ෂා කළ ආකාරයෙන් කටයුතු කළා. ඉතිහාසයේ පළමු වරට ‘කාන්තා කොමිෂමක්’ පත් කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඊට අමතරව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අඩු පහසුකම් සහිත දරුවන්ට රුපියල් 6000ක් වෙන් කරන්න අපට පුළුවන්කම ලැබුණා. සිඟමනේ යෙදෙන දරුවන් වෙනුවෙන් සහ පාසල් නොයන දරුවන් වෙනුවෙන් වැඩසටහනක් අපි ආරම්භ කළා. ඒ වගේම දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් අලුත් නීති සම්පාදනය කළා, ඇතැම් නීති සංශෝධනය කළා.  ග්‍රාමීය මට්ටමෙන් කාන්තා ව්‍යවසායිකාවන් බිහි කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. පෙර පාසල්වල විෂය නිර්දේශය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එකඟ වෙලා තිබෙනවා.  ඒ වගේම සෑම දිස්ත්‍රික්කයම ඉතා හොඳ දිවා සුරුකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අපි මුදල් වෙන් කරලා තියෙනවා. එම වැඩසටහන මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්‌දේ ක්‍රියාත්මක වෙනවා. ළමයින් සම්බන්ධ නඩු විභාග කිරීමට අලුතින් අධිකරණ දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඇතුළු සියලුම අමාත්‍යාංශ කාන්තාවන් සහ ළමයි වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒ අතර කර්මාන්ත අමාත්‍යාංශය හරහා සිදුවන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වැඩිහිටි කාන්තාවන් රැක බලා ගන්නා වැඩසටහනක් ක්‍රියාත්මක කරනව. මුදල් අමාත්‍යාංශය කාන්තාවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

  • මේ අතර කාන්තාවන් සම්බන්ධ ඉතාමත් රැඩිකල් තීන්දු කිහිපයකුත් ගත්තා නේද ?

අපි මේ දක්වා ගෙන තිබෙන තීන්දු – තීරණ බොහොමයක් රැඩිකල් තීන්දු බව පැහැදිලියි. ඒ අතර දුම්රිය නියාමකවරියන් බඳවා ගැනීමට අපි පියවර ගෙන තිබෙනවා. ඉදිරියේ දී වෘත්තීය ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට අදාළව තවත් රැඩිකල් තීන්දු කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපේක්ෂා නොකළ තරමේ විරෝධයක් වර්ධනය වෙමින් තිබෙනවා නේද ?

අපි හැමෝටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, ඒකට විරුද්ධ කිසිවෙක් නැහැනේ. ඒක කාලීන හා ජාතික අවශ්‍යතාවක්. අපි සියලු දෙනාම පිළිගන්නා ආකාරයට වත්මන් විෂය නිර්දේශය සහ අධ්‍යාපන ක්‍රමය වර්තමානයට ගැළපෙන්නේ නැහැ.  වසර ගණනාවක සිට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා ඉල්ලා සිටියත් කවුරුත් ඒ අභියෝගය භාර ගත්තෙත් නැහැ. ඒ නිසා අපි මේ අභියෝගය භාර ගන්නවා. ඉතිහාසයෙන් හොඳ දේවලුත් අරගෙන, අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහසුත් අරගෙන හෙටට, අනාගත ලෝකයට  ගැළපෙන ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.  මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ඊයේ සැලසුම් කළ දෙයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා කළ සාකච්ඡාවල, පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙසයි ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු මේ වන විට සිදුවෙනවා ද ?

මේ වන විට ගුරුවරුන් ලක්ෂ දෙකක් සහ විදුහල්පතිවරු පුහුණු කරමින් සිටිනවා, ඒක ඉතාම සාර්ථකව සිදුකරගෙන යනවා.

  • ඔබ කියන ආකාරයට මේක සාර්ථක නම් ඇයි මේ තරම් විරෝධයක් ?

මේ වැඩපිළිවෙළට රටක් ලෙස 98%ක්ම කැමතියි කියලා අපි හිතනවා. මේ වැඩපිළිවෙළට විරුද්ධ වෙන්නේ ඒක ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් සහ වැඩපිළිවෙළක් නොතිබුණු දේශපාලඥයින් කිහිප දෙනෙක් පමණයි. ඒ අයට කර ගන්න බැරි වුණ දේවල් අපි පහසුවෙන් කරද්දි දුක හිතෙන ඒක පුදුමයක් නෙමෙයි. මතක තියා ගන්න, අපි මේ රට වෙනස් කරන්‌නේ සමස්ත දරු පරපුර වෙනුවෙන්. ලංකාවෙන් බැරි  නම් ලෝකයෙන් හරි පාඩම් ඉගෙන ගන්න කියලා අපි විපක්ෂයට කියනවා.

  • මේ වන විට ජනාධිපතිවරණයට පෙර තිබුණ ආකාරයේ සිංහල බෞද්ධ විරෝධී චෝදනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා නේද ?. ඒ ගැන පක්ෂයක්, ලෙස, ආණ්ඩුවක් ලෙස අවධානය යොමු කර තිබෙනවාද ?

මහා නායක හිමිවරුන්ගේ සිට ගමේ පන්සලේ හාමුදුරුවෝ දක්වා සියලුම හිමිවරුන් සහ අන්‍යාගමික නායකයින් රජයේ වැඩපිළිවෙළත් එක්ක සිටිනවා. ඒක අනුමත කරනවා. ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවල් ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. ජාතිවාදය, ආගම්වාදය අවුස්සන එක පසුගිය කාලයේ ජනතාව විසින් තීරණාත්මක ලෙස පරාජයට පත් කළ ඉතාම සුළු පිරිසක් සිය පැවැත්ම වෙනුවෙන් කරන දෙයක්. ජනතාව එවැනි පුද්ගලයින් පිළිකුල් කරනවා. ඔවුන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ පිළිකුල් කටයුත්ත කරනවා.

  • ආණ්ඩුව විපක්ෂයේ සහ සමාජ මාධ්‍ය විවේචන චෝදනා පිළිගන්නෙම නැද්ද ?

අපි වැඩ කළ යුත්තේ මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු එක්කයි. ඒ නිසා පරාජිත විපක්ෂය, යනඑන මං නැති කල්ලි කියන කරන දේවල් ගැන අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. ජනතාවටත් ඒවායේ වැදගත්කමක් නැහැ. ඒ නිසා අපි ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරනවා.

සටහන – භාතිය බරුකන්ද

මූලාශ්‍රය – රතුඉර පුවත්පතේ 2025 නොවැම්බර් 09 දින කලාපය ඇසුරිණි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website