ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
එම නිවේදනයට අනුව, පනත් කෙටුම්පතේ 29 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.
තවද, පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.
තවද, ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත.
“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එම නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිිරීමට එකඟ වී ඇත.) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි:-
• “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26(2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර, එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය පහත පරිදි විය යුතු ය:-
“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය සිදු කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකි ය”;
• ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59(5)(ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතු ය;
• අනවශ්‍ය ප්රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය ඉවත් කළ යුතු ය; සහ
• 66(1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතු ය:-
“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකි ය.”
“ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
කථානායකවරයා විසින් නිවේදනය කරන ලද “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.
• 43(3) වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(එ) ව්‍යවස්ථා සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි 43(3) වගන්තිය ප්රතියෝජනය කර නව 43(4) වගන්තිය ඇතුළත් කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.
• 169 වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව ද සැලකිල්ලට ගත් කළ, 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ආකාරයට 169(1) සහ 169(3) වගන්ති සංශෝධනය කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.
• 45 සහ 65 වගන්ති, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, 45(1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණෙයේ සඳහන් කර ඇති පරිදි සංශෝධනය කිරීමෙන් සහ ආගමන පහසුකම් සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් යෝජිත විධිවිධානයක් සුදුසු අංකනයක් යටතේ ඇතුළත් කිරීමෙන්, මෙම අනනුකූලතාවයන් ඉවත් වනු ඇත.
• සලකා බලන ලද කරුණු පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ වෙනත් කිසිදු අනනුකූලතාවයක් නොමැත. එසේම, “ලිඛිත” යන වචනය ඉවත් කිරීමෙන් 174 වගන්තිය සංශෝධනය කරන බවට ලබා දී ඇති එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත.
• හඳුනාගත් අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු නොකරන්නේ නම්, අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු ය,
යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීරණ අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට කථානායකවරයා නියෝග කළේය.
















