Fitch ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ‘AA+(lka)’ දක්වා ඉහළට

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම රාජ්‍ය තාක්ෂණික ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (Sri Lanka Telecom PLC) හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ‘AA-(lka)’ සිට ‘AA+(lka)’ දක්වා ස්ථාවර පෙරදැක්මක් සහිතව ඉහළ නැංවීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන ඇත. ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමත් සමඟ සංශෝධිත ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ස්වෛරී දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමෙන් පසු දේශීය සමාගම්වල සාපේක්ෂ ණය සුදුසුකම්වල වෙනස්කම් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ස්වාධීන මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය වෙනුවෙන් එහි වෙළඳපල නායකත්වය ප්‍රබල පදනමක් සපයා ඇත. ස්ථාවර දුරකථන සේවා සහ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයේ හිමිකරගෙන ඇති වෙළඳපල නායකත්වය, දිවයින පුරා විහිදී ගිය පුළුල් ෆයිබර්-ඔප්ටික් ජාලය සහ ශක්තිමත් මූල්‍ය පදනම හේතුවෙන් සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වී ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සමස්ත සන්නිවේදන යටිතල පහසුකම් නවීකරණය කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගම සමත්ව තිබේ.

එමෙන්ම, 2026 අප්‍රේල් මස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකිණීමට තිබූ යෝජනාව අත්හැරීමට රජය තීරණය කළ අතර, එමගින් මෙම ආයතනය ප්‍රධාන ජාතික සම්පතක් ලෙස රඳවා ගනිමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ රජයේ පැහැදිලි උපායමාර්ගික වැඩපිළිවෙල සංකේතවත් කෙරේ. ජාතික ඩිජිටල් යටිතල පහසුකම් සුරක්ෂිත කරමින්, රාජ්‍ය සබලගැන්වීම් යටතේ ටෙලිකොම් ආයතනය ජාතික ආර්ථිකයේ ධාවක බලවේගයක් ලෙස ඉදිරියට ගෙන යාමට රජය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පූර්ණ ලෙස කැපවී සටියි.

සමාගමේ මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ද්‍රවශීලතා මට්ටමද ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බව මූල්‍ය දත්ත තහවුරු කරයි. ආදායම් වර්ධනය, ග්‍රාහක පදනම පුළුල් වීම සහ කාර්යක්ෂම පිරිවැය පාලන ක්‍රමවේද හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ EBITDA ආදායම් සීමාව (EBITDA margin) 2025 වසරේ පැවති 34% සිට 2026 වසර වන විට 38% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සහ 5G තාක්ෂණය උදෙසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිදුකරනු ලබන උපායමාර්ගික ආයෝජන, ශ්‍රී ලංකාවේ සමස්ත ඩිජිටල් ආර්ථික අභිලාෂයන් සහ අනාගත ඩිජිටල් පරිවර්තනය සබල ගැන්වීම උදෙසා සෘජුවම දායක වේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින මෙම ප්‍රමුඛ ජාතික ආයතනය, ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යන ප්‍රධාන බලවේගයක් ලෙස අඛණ්ඩව ජාතික මෙහෙවර ඉටුකරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website