ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (National Export Development Plan – NEDP) 2026 – 2030 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය සහ දායකත්වය ලබාගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් 2026 – 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ කෙටුම්පත ඉදිරිපත් කරමින්, එහි ප්‍රධාන ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික සහාය සහ ආයතනික දායකත්වය අපේක්ෂා කරන ලදී. 2030 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීම මෙම සැලැස්මේ ප්‍රධාන ඉලක්කය වේ. ඒ යටතේ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 28ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රධාන උපායමාර්ගික කුළුණක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව, ජාතික ඊ-වාණිජ්‍ය උපායමාර්ගයක් (National E-Commerce Strategy) සකස් කිරීම, ඩිජිටල් වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර ඩිජිටල් වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ව්‍යාපාරික බලපත්‍ර හා අනුමැතීන් ලබාගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත තනි කවුළු පද්ධතියක් (Online Single Window) ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම ICTA/GovTech සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව වෙළෙඳ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම, මාර්ගගත අනුමැති ක්‍රමවේද සහ වෙළෙඳ ලේඛන සඳහා ඩිජිටල් අත්සන් භාවිතය ප්‍රවර්ධනය කිරීම ද අපේක්ෂා කෙරේ.
තවද, ශ්‍රී ලංකාවේ ඩිජිටල් නිෂ්පාදන හා සේවා අපනයන ආදායම 2025 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක මට්ටමේ සිට 2030 වන විට ඩොලර් බිලියන 5 ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය පිළිබඳව ද අවධානය යොමු විය. ඒ සඳහා ICT ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ශ්‍රී ලාංකික තාක්ෂණික සමාගම්වල ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම, මානව සම්පත සංවර්ධනය කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. Japan IT Week, GITEX Global සහ Hannover Messe වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලාංකික ICT සමාගම් සහභාගී කරවීම, ජපානය සහ ජර්මනිය ඉලක්ක කරගත් වෙළෙඳපොළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ‘Island of Ingenuity’ ජාත්‍යන්තර සන්නාමය ප්‍රවර්ධනය කිරීම ඇතුළු EDB විසින් යෝජනා කර ඇති වැඩසටහන් සඳහා ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
මෙම කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය විය. ඒ අනුව, අමාත්‍යාංශයට පැවරෙන වගකීම් ආයතනික ක්‍රියාකාරී සැලසුම් හා අයවැය සමඟ ඒකාබද්ධ කරමින්, පැහැදිලි ඉලක්ක, කාලරාමු සහ ප්‍රගති අධීක්ෂණ ක්‍රමවේද සහිත ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම සහයෝගීතාව තුළින් 2030 වන විට ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු, ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සහ තිරසාර අපනයන ආර්ථිකයක් ගොඩනැගීම අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාවට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් රොෂාන් ගමගේ මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයෝ සහභාගී වූහ.















