ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2025දී රුපියල් මිලියන 785ක් සහ 2026 සැප්තැම්බර් දක්වා රුපියල් මිලියන 673ක් උපයයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2025 වසරේදී රුපියල් 785,411,317.92ක ආදායමක් ද, 2026 සැප්තැම්බර් 30 දක්වා රුපියල් 673,114,357.25ක ආදායමක් ද උපයා ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අනෙකුත් ආදායම් මාර්ග ඔස්සේ මෙම ආදායම උපයා ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් 2025 වසරේදී රුපියල් 546,695,018.46ක ආදායමක් ද, 2026 සැප්තැම්බර් 30 දක්වා රුපියල් 439,157,062.25ක ආදායමක් ද උපයා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

2026 ඔක්තෝබර් 01 වන විට අන්තර් පළාත් මාර්ගවල ධාවනය සඳහා වලංගු මගී සේවා අවසර පත්‍ර 2,966ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අතර සාමාන්‍ය සේවා අවසර පත්‍ර 1,826ක්, අර්ධ සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 257ක්, සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 651ක් සහ අධි සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 232ක් ඇතුළත් වේ.

මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව බස් රථ 7,130ක් පවතින අතර, ඉන් බස් රථ 6,987ක් සාමාන්‍ය බස් රථ වන අතර ඉතිරි බස් රථ 143 සුඛෝපභෝගී බස් රථ වේ. එමෙන්ම 2006 වර්ෂයේදී මෙට්‍රෝ බස් රථ 114ක් ද මෙරටට ආනයනය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව පළාත් අනුව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, බස්නාහිර පළාත තුළ බස් රථ 5,520ක් ද, මධ්‍යම පළාත තුළ බස් රථ 2,433ක් ද, දකුණු පළාත තුළ බස් රථ 1,326ක් ද, උතුරු පළාත තුළ බස් රථ 976ක් ද ධාවනය වන බව පැවසීය.

එමෙන්ම නැගෙනහිර පළාත තුළ බස් රථ 520ක් ද, වයඹ පළාත තුළ බස් රථ 1,324ක් ද, උතුරු මැද පළාත තුළ බස් රථ 509ක් ද, ඌව පළාත තුළ බස් රථ 1,043ක් ද සහ සබරගමුව පළාත තුළ බස් රථ 1,816ක් ද ධාවනය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website