ටෙස්ට් කඩුළු 100 සීමාවට වේගයෙන්ම ළඟා වූ ක්‍රීඩකයාට හිමි ලෝක වාර්තාව අසිත ප්‍රනාන්දුට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වී තිබේ. ඒ, ටෙස්ට් කඩුලු 100 සීමාවට ළඟා වූ වේගවත්ම ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නා බවට පත්වෙමිනි.

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ නොවැම්බර් 10 වැනිදා සෞද් ශකීල්ගේ කඩුල්ල දවා ගනිමින් අසිත මෙම සුවිශේෂී කඩඉම පසු කළේය. කුසල් මෙන්ඩිස්ගේ අතින් රැකගත් උඩ පන්දුවක් හමුවේ ශකීල් ලකුණු 93කට දැවී යෑමත් සමඟ අසිතගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගියේය.

මෙම කඩඉම සම්පූර්ණ කිරීම සඳහා අසිතට වැය වූයේ ඉනිම් 48ක් පමණි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අයුරින් ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකර තිබූ චමින්ද වාස්ට ඒ සඳහා ඉනිම් 51ක් වැය වී තිබිණි. ඒ අනුව වසර 28ක් පුරා වාස් සතුව පැවැති වාර්තාව ඉනිම් තුනකින් අභිබවා යෑමට අසිත සමත් විය.

කඩුලු 100 සීමාව පසුකළ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අතර ඉහළම පන්දු යැවීමේ සාමාන්‍යයට හිමිකම් කීම ද අසිත සතු තවත් විශේෂත්වයකි. ටෙස්ට් තරග 29කදී කඩුලු 100ක් දවාගෙන ඇති ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 27.01කි. ටෙස්ට් තරග 111කදී කඩුලු 355ක් දවාගෙන ඇති චමින්ද වාස්ගේ පන්දු යැවීමේ සාමාන්‍යය 29.58ක් ලෙස සටහන් වේ.

සමස්තයක් ලෙස ගත් කල ටෙස්ට් කඩුලු 100 සීමාව පසුකළ 10 වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ ද අසිත ප්‍රනාන්දුය. එම ලැයිස්තුවට මුරලිදරන් (කඩුලු 800), රංගන හේරත් (433), දිල්රුවන් පෙරේරා (161) සහ ප්‍රභාත් ජයසූරිය (134) වැනි දඟ පන්දු යවන්නන් සිව්දෙනා ද ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේග පන්දු යවන්නන් අතර තමන්ටම අනන්‍ය ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්ව සිටින අසිතගේ මෙම දස්කම, ඉදිරියේදී ඔහුගෙන් තවත් විශිෂ්ට පන්දු යැවීම් බලාපොරොත්තු වීමට ලැබුණු තවත් හේතුවකි.

ටෙස්ට් කඩුලු 100 සීමාවට වේගයෙන්ම ළඟා වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ

  1. අසිත ප්‍රනාන්දු – ඉනිම් 48
  2. චමින්ද වාස් – ඉනිම් 51
  3. ළහිරු කුමාර – ඉනිම් 58
  4. ලසිත් මාලිංග – ඉනිම් 59
  5. දිල්හාර ප්‍රනාන්දු – ඉනිම් 68
  6. සුරංග ලක්මාල් – ඉනිම් 79

ටෙස්ට් කඩුලු 100කට වැඩියෙන් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ඉහළම පන්දු යැවීමේ සාමාන්‍යය

  1. අසිත ප්‍රනාන්දු – තරග 29, කඩුලු 100, සාමාන්‍යය 27.01
  2. චමින්ද වාස් – තරග 111, කඩුලු 355, සාමාන්‍යය 29.58
  3. ලසිත් මාලිංග – තරග 30, කඩුලු 101, සාමාන්‍යය 33.15
  4. සුරංග ලක්මාල් – තරග 70, කඩුලු 171, සාමාන්‍යය 36.44
  5. ළහිරු කුමාර – තරග 38, කඩුලු 107, සාමාන්‍යය 37.33
  6. දිල්හාර ප්‍රනාන්දු – තරග 40, කඩුලු 100, සාමාන්‍යය 37.84

source:srilankacricket,lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website