ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් (Sovereign Government Cloud) සහ ජාතික පරිගණක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු රජය විසින් ලබාදීමට අපේක්ෂිත සහාය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ CyberCX Australia ආයතනයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ ස්වෛරී ක්ලවුඩ් සහ පරිගණක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු රජය ලබාදීමට අපේක්ෂිත සහාය අගය කළ අතර, ජාතික කෘත්‍රිම බුද්ධි (AI) පරිගණක හැකියාවන් පුළුල් කිරීමේ උපායමාර්ගික වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම ආරක්ෂිත සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, දත්ත මධ්‍යස්ථාන සඳහා ආයෝජකයන් සමඟ සිදුකර ඇති මූලික සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී රාජ්‍ය ක්ලවුඩ් අවශ්‍යතා පිළිබඳව සිදුකෙරෙන ඇගයීම් පැහැදිලි කළ අතර GovTech Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා සඳහන් කළේ, යෝජිත වැඩසටහනේ අවශ්‍යතා හඳුනාගැනීම සහ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් සැලසුම් කිරීම සඳහා CyberCX සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඉවාන් ෆවුලර් මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇමෙරිකානු රජයේ සහාය ලබා දෙන බවත් යෝජිත ප්‍රදාන ආධාර වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ හවුල්කරු ලෙස CyberCX තෝරාගෙන ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම CyberCX ආයතනයේ විධායක අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් සලබෑන්ක් මහතා එම ආයතනයේ සයිබර් ආරක්ෂණ ඇගයීම්, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථාන (SOC), සයිබර් ආරක්ෂණ පුහුණුව, මානව සම්පත් සංවර්ධනය සහ ක්ලවුඩ් පද්ධති සඳහා දෘඩාංග හා මෘදුකාංග ඒකාබද්ධ කිරීමේ හැකියාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේය.
2026 නොවැම්බර් 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිත පාර්ශ්වකරුවන්ගේ උපදේශන වැඩසටහන පිළිබඳව සහ ශ්‍රී ලංකා රජය, CyberCX සහ ඇමෙරිකානු රජය අතර ඒකාබද්ධව සිදුකරන මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල මත ඉදිරි මාස දෙක තුළ යෝජිත ප්‍රදාන ආධාර වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ගැනිණි.
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ (PDPA) අදාළ බලාත්මක කිරීමේ සහ දඩ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සම්මුතීන්, ජාතික සයිබර් ආරක්ෂණ පසුබිම සහ Lanka Government Cloud (LGC) පද්ධතියේ වත්මන් තත්ත්වය හා ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙන්ම, ජාතික මට්ටමේ AI පරිගණක ධාරිතාවක් ගොඩනැගීම සඳහා අවශ්‍යතා සහ ප්රමුඛ භාවිත අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර රාජ්‍ය ආයතන සඳහා පොදු AI යෙදුම්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම ආවරණය වන භාෂා ආකෘති, දත්ත පදනම් කරගත් යෙදුම් සහ සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත AI විසඳුම් ඒ අතර වේ.
මෙම සාකච්ඡාවටශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඉවාන් ෆවුලර් මහතා සහ ආර්ථික විශේෂඥ ජෝවිනී මචාඩෝ මහත්මිය ද, CyberCX Australia ආයතනය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් සලබෑන්ක් මහතා, ජාල හා යටිතල පහසුකම් විසඳුම් අධ්යක්ෂ නික් ජැකා මහතා, ක්ලවුඩ් ආරක්ෂණ ප්‍රධානී රස්නාල් යැප් මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ටෝබි මුවර් මහතා ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ GovTech Sri Lanka ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.
















